ත්‍රස්තවාදයට ආගමක් නැත

මැයි 2019 කතු වැකිය

ත්‍රස්තවාදයට ආගමක් නැත

සටහනේ අන්තර්ගතය

ලක්බිම සිදුවූ ඉතාමත් කුරිරුතම බෝම්බ ප්‍රහාරයක් වන “පාස්කු ප්‍රහාරයට” ලක්ව මිය ගිය සියලු ජනයා සමාදානයේ සැතපේවා!!! නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!! ඔවුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි තිබුනා වු ගෞරවය භක්තිය ගිලිහී නොයත්වා!!!

ශුද්ධ වූ බයිබලය ඇසුරු කරන විට මට දැකගන්නට ලැබුණු පරිච්ඡේදයක් මේ කතුවැකියට සම්බන්ධ කරගන්නට සිත්විය.  බයිබලය ඇසුරු කරන සැදැහැවතුන්ට තමන් අදහන.. විශ්වාස කරන තමන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය නැති නොවීමට තරම් හේතුවක් වීමට මේ පරිච්ඡේදය වැදගත් යැයි මට පෞද්ගලිකව සිතේ. 

ශුද්ධ වූ බයිබලයේ “ජෝන්” නම් වූ කොටස මට වැටහෙන අයුරින් සිංහල පරිවර්ථනයේ තිබෙන්නේ “යොහන් / ජොහන්” ලෙසිනි.  මේ කොටසත්,  අප දැනට පාස්කුව ලෙසින් හඳුන්වන ජේසුස් වහන්සේගේ නැවත පිබිදීමට සම්බන්ධ අවස්ථාවටම සම්බන්ධ වූවකි.  ජේසුස් වහන්සේ මිය යෑමට ප්‍රථම ජෝන් නැමැත්තාට පැවසූ වදන් පෙල අතර පවතින්නකි.  එය මෙසේයි;

“ජෝන් / යොහන් / ජොහන් 16: “මම මේ දේවල් ඔබට පැවසුවේ ඔබ පාපයට ඇද වැටෙනවා දකින්න අකමැති නිසයි. 2 මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි. ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි. 3 ඔවුන් ඒ දේවල් කරන්නේ ඔවුන් පියාණන්වත් මාවත් නාඳුනන නිසයි. 4 ඒ වුණත් මම මේ දේවල් දැන්මම ඔබට කියන්නේ, මේ දේවල් සිදු වන කාලය පැමිණෙන විට මම ඒ ගැන පැවසූ බව ඔබට මතක් වීම සඳහායි. මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි. 5 දැන් මාව එවූ තැනැත්තා ළඟට යන්න කාලය ඇවිත් තිබෙනවා. නමුත් ‘ඔබ යන්නේ කොහේද’ කියා ඔබෙන් එක් කෙනෙක්වත් මගෙන් අසන්නේ නැහැ.”

බලන්න මේ වැකිය... “ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි” -  සැබැවින්ම මෙය මෙසේම නොවේද සිදුවුනේ? ඒ වගේම තමයි මේ වැකිය; “ඔබට කියන්නේ, මේ දේවල් සිදු වන කාලය පැමිණෙන විට මම ඒ ගැන පැවසූ බව ඔබට මතක් වීම සඳහායි. මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි.” - ඉතින් ඔබට සිහිපත් වුණාද? ජේසු තුමන් එසේ පැවසූ බව?  ඔබ සැබෑවමට ඔබ අදහන විශ්වාස කරන ඔබගේ දෙවියන්වහන්සේ පෙන්වූ මග යන්නෙක් නම් ඔබට මේ දේවල් සිහිපත්වේවි. 

මෙවර කතු වැකිය මේ විදියට ලියන්නට හිතුනේ, පාස්කු ප්‍රහාරයත් සමඟ සමහර පිරිස් වෙතින් තමන් විශ්වාස කල දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති ආකාරය දකින්නට තිබූ නිසයි.  කල යුතු වන්නේ විශ්වාසය අවතක්සේරු කිරීමට වඩා තමන් විසින් තමන්ව කොතරම් දුරට අවබෝධ කරගෙන ඇතිදැයි විමසා බැලීමයි. 

බුදු දහමට අනුව,  ජාතියක් ආගමක් කුල භේදයක් තත්ව තානාන්තරයක් නැතිවම ජීවත්වන ඕනෑම ජීවියෙකුට තම තමන් කියපු කරපු හිතපු ආකාරයට අනුව ප්‍රතිඵල ලැබෙනවා.  හැබැයි ඒ මේ ජීවිතයට පමණක් සීමාවන කර්මයක් නොවේ.  වගකීමක් නැති දේශපාලකයින් ලැබෙන්නත්... දෙවියන්ගේ නාමයෙන් මිනීමරන්නන් හමුවෙන්නත්... සසර පුරාවට අප හැසිරුණ විදිය බලපානවා.  ඒ දේවල් එසේ තිබෙත්දී වැදගත් වෙන්නේ අප ඇත්තටම අප අදහන විශ්වාස කරන ආගම දහම නිවැරදිව ඇසුරු කරනවාද යන්නයි.

දන්න කාලේ ඉඳලා මට වැටහුණ දෙයක් තමයි ආගම් නාමයන් මුල්කරගෙන සිදුකරන ත්‍රස්තවාදී ප්‍රහාරයක් අවසානයේදී දහස් ගණනින් ආගමික අනුගාමිකයන් එකිනෙකා මරාගන්නා මානසිකත්වයකට පත්වීම. ප්‍රහාරයෙන් මැරෙන්නේ සිය ගණනක්... ඉන්පසුව ඇතිවන කෝලහාලවලින් මැරෙන ගණන කියලා නිමකරන්නට බැරි තරම්... සැබෑවටම නුවණක් තිබේ නම් මේ අවස්ථාවේදී කල යුතු එකම දේ සමඟිව පවතින තත්වයන්ට එකමුතුව එකාවන්ව මුහුණ දීමයි. ආගමක් දහමක් ජාතියක් නැති ත්‍රස්තවාදය පරාද වන්නේ එවන් සමඟියක් හමුවේ පමණයි.

දෙවියන්ගේ නාමයෙන් යැයි පවසමින් මිනී මරන්නට පෙළඹෙන... එය අනුමත කරන්නාවූ ඉස්ලාම් භක්තියන් විසිනුත් අංශු මාත්‍ර හෝ බුද්ධියක් වේ නම් තම තමන් විසින්  විමසිය යුතු කරුණක් තිබෙනවා. ඔබ විශ්වාස කරන විදියට,  ඔබගේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේම  විසින්ම මැවූ තවත් මිනිසුන් පිරිසක් මැරීමට ඔබට අයිතිය ලබා දෙන්නට තරම් ඔවුන්ගෙන් ඔබ වෙන්වූයේ කෙසේද? එසේ කරමින් ඔබට ස්වර්ගයේ විශේෂිත තැනක් හිමි කර දෙනවා නම් ඔබම විමසා බලන්න ඔබ ඇත්තටම දෙවියන් වහන්සේ ලෙසින් පෙනී සිටින බොරු පොරොන්දු දෙන දේශපාලනික යක්ෂයෙකුට හසුවී නැතිද? ඔබ සැබැවින්ම දෙවියන් වහන්සේවද ලජ්ජාවට පත් කරනවා නොවේද? 

තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේගේ... ශාස්තෘන්ගේ ගෞරවය සමාජයක් ඉදිරියේ ඉහල නැංවීමට හෝ පහලටම දැමීමට උන්වහන්සේලා අනුව යනවා යැයි කියන අනුගාමිකයන්ගේ ක්‍රියා කලාපය මතම තීරණය වේ!

ත්‍රස්තවාදයට ආගමක් දහමක් ජාතියක් නැතිබව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ යම්දිනකද එදිනට ජයග්‍රහණය කරන්නේ මනුස්සකමයි!

https://www.youtube.com/watch?v=KwNVqTVKUP8&feature=share

මියගිය සැමටත් ඒ සැමගේ පවුලේ පිරිස් වෙතටත් ඥාති හිතමිත්‍රාදීන්ටත් සසර සුවපත්භාවයට පත්වීම පිණිස හේතු වාසනා සකස් වෙත්වා!!! නුවණ පැදී නිවැරදි තීන්දු තීරණ ගත හැකි මිනිසුන් බවට පත්වීමටත් මේ සටහන සෘජුවම හෝ වක්‍රව හේතු උපකාර වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා