සුභවාදය හඳුනන සුභ වසරක් වේවා!!!

ජනවාරි 2021 කතු වැකිය

සුභවාදය හඳුනන සුභ වසරක් වේවා!!!

සටහනේ අන්තර්ගතය

2021 නව වසරට සුභ පැතුම් සමඟින් ම තවත් හිතන්නට යමක් එකතු කරමින්... නිර්වාණ ධර්ම කතු වැකිය මෙසේ දිග හරිමි.

කොහොම ද ඉතින් පසු ගිය වසර?

සිතූ පැතූ ආකාරයෙන් ම සිද්ධ වුනා ද?  පසුගිය වසර පටන් ගන්න කොට ම මෙන්න මේ මේ සැලසුම් අනුව මේ වසරේ වැඩ කරනවා කියලා හිතා ගන්නට ඇති නේ නේද?  ඒත් ඒ දේවල් එසේ වුනා ද?  පසුගිය වසරේ අපට ජීවිතයට හොඳ පාඩමක් වුනත් තවමත් අපි ඒ විදියට ම පැතුම් පොදි ගහනවා නේද?  ගිය වසරේ වගේම මේ වසර ආරම්භ කරන්නේත් සැලසුම් රැසක් සමඟින් ම යි නේද? 

“ශක්තිමත් ව නො සැලී එන ඕනම දේකට මුහුණ දෙනවා” කියලා සැලසුමක් පමණක් තිබිලා තියෙනවා ද?

පසුගිය වසරේ වගේම තමන් ව අවබෝධ කර ගන්නට කාලය වෙන් කරනවා වෙනුවට බාහිර පරිසරය අවබෝධ කර ගන්නට කාලය වෙන් කරනවා ද කියලා හිතලා බලන්න...

හැම දාම කියනවා වගේ වසරක් සුභ වෙන්නේ ඒ වසරේ සිදු වන සිද්ධි දාමය නිසා නෙවේ... ඒ සිද්ධි දාමය අපි භාර ගන්න ආකාරය... ඒ සිද්ධි දාමය තුල තමන්ගේ සිත කය වචනය හැසිරුණ ආකාරය අනුවයි...

මට නම් හැම දාම වගේ පසුගිය වසර සුභයි. 

ජීවිතය තවත් අර්ථයක්... ගැඹුරක් එකතු වුනා වගේම සැබෑ විමුක්තිය ලැබීම පිණිස බොහෝ දෑ එකතු වුනා.  ඔබටත් එසේ සතුටු විය හැකි දැයි විමසා බලන්න...

“මේ වසර සුභ වේවා” යැයි මන්තර මැතිරුවාට... බොරු බලාපොරොත්තු තොගයක් පොදි ගහ ගෙන අපි සුභවාදී ව හිතනවා කිව්වාට එයින් යමක් සුභ වෙන්නේ නෑ. 

සිදු විය හැකි දේ නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන... තමාගේ වසඟයේ පවත්වා ගන්නට නොහැකි දේ ගැන නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන... ඒ තුල ජීවිතයේ සැබෑ අර්ථය සොයන්නට කැප වෙනවා කියන අධිෂ්ඨානය ඔස්සේ වැඩ කරන පුද්ගලයාට හැම මොහොතක් ම සුභ යි.

එසේ නම් සැබෑම සුභවාදී චින්තනය හඳුනා ගෙන මේ වසරේ දී නිවී සැනසෙන්නට හැකි මනුෂ්‍ය ගුණ ධර්ම වලින් පිරුණු සිතක් කයක් වචනයක් ලබන්නට ඔබ සැමට සියලු දෙවි රැකවරණයත්, තෙරුවනේ අඛණ්ඩ ආශීර්වාදයත් නො අඩුවම ලැබේවා යි මෙත් සිතින් සෙත් පතමි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා