පෙර නිමිති දැකල ද?

ඔක්තෝබර් 2022 කතු වැකිය

පෙර නිමිති දැකල ද?

සටහනේ අන්තර්ගතය

සත්ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්නට කැමැත්තෙන් විමුක්තිය පිණිස බණ දහම් අසන සමහර පිරිස තුල දැක ගන්නට තිබෙන, බොහෝ විට තමන් ම දැක ගන්නට අදක්ෂ කාරණයක්... නිවන් මඟට සහ එහි දියුණුවට ඉතාමත් වැදගත් කාරණයක් කෙටියෙන් විග්‍රහ කර දෙන්නට මෙවර කතු වැකිය වෙන් කරන්නම්!

සතර පෙර නිමිති ගැන අහලා තියෙනවා නේද?  ලෙඩෙක්... මහල්ලෙක්... මරණයක්... පැවිදි රුවක්... කියලා සිදුහත් බෝ සත් චරිතයේ ගැන ඉගෙන ගන්න විට ඉගෙන ගන්නවා නේද?  ඉතින් මේ සතර පෙර නිමිති කියන්නේ සිදුහත් බෝසත් චරිතයට පමණක් අදාළ කාරණයක් නොවේ.  විමුක්තියක් සොයන පිරිස විසින් අත්දැකිය යුතු වැදගත් ම අවස්ථාවක් තමයි මේ සතර පෙර නිමිති දැකීම කියලා කියන අවස්ථාව.  මේ සම්බන්ධයෙන් තරමක් දීර්ඝ විග්‍රහයක් නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ සතර පෙර නිමිති සම්බන්ධ කොටස් තුල තිබෙනවා.

සාර සංකල්ප ලක්ෂයක් පෙරුම් පුරා ගෙන ආව ප්‍රඥාවන්ත මහ බෝසත් චරිතය එතරම් ප්‍රඥා පාරමිතා පුරා නැති ඡන්න වගේ කෙනෙකුගෙන් ජීවිතයේ යථාර්ථයක් තේරුම් ගත්තා යැයි විශ්වාස කරන බහුතරයක ගේ මානසිකත්වය හඳුනා ගත යුතුයි.  නමුත් එය එසේම යැයි කියා සිතන ශ්‍රාවක පරපුරක් බුද්ධ ශාසනය තුල බිහි වීම සැබැවින් ම අභාග්‍ය සම්පන්න කාරණයක්.

එයිටත් වඩා අභාග්‍ය සම්පන්න කාරණයක් තියෙනවා. ඒ තමයි සත්ධර්ම මාර්ගයේ කැපවී සිටින... ගැඹුරු ශුන්‍යාතාදී දහම් අසන... සතර සතිපට්ඨානය ගැන විමසන... මරණානුස්සති අසුභ ය ආදී භාවනා වඩනවා ය කියන... ශ්‍රාවක යැයි කියන පිරිස තවමත් මේ ලෙඩ වීම, මහලු වීම, මරණය ආදී වශයෙන් කියන මූලික කාරණා භාර ගන්නට ඇති අකමැත්ත.  කෙටියෙන් කියනවා නම් මේ සතර පෙර නිමිති දැක නො තිබීම.  

කොතරම් බණ ඇසුවත්... පින් දහම් කලත් ඒ සෑම දෙයක් තුලම ලෙඩ නොවී සිටීම... මරණය ප්‍රමාද කර ගැනීම වගේ යටි අදහස් ගැබ් වෙලා තියෙනවා නේද කියලා ඔබත් ප්‍රඥාවන්ත ව විමසා බලන්න.  පින් දහම් කරන නිසා... ධර්මයේ හැසිරෙන නිසා ධර්මය විසින් අපි ව ආරක්ෂා කරයි කියන අදහස සිතේ දරා ගෙන ලෙඩක් දුකක් කරදරයක් නොවී මරණය කල් ගොස් ආයුෂ ලැබී සැනසීමෙන් යුතු ජීවිතයක් ගත කරන්නට හැකි වේවි යන අදහසින් නොවේ දැයි නුවණින් විමසා බලන්න ඕන.

“සතර පෙර නිමිති දකිනවා” කියන කාරණා තුලින් අදහස් වෙන්නේ තමන්ට හෝ කාටවත් සදාතනික විසඳුමක් ලබා දිය නො හැකි කාරණා කිහිපයක් ගැන පෙර නිමිති දකිනවා කියන එකයි.  එයට විසඳුමක් ලැබීම පිණිස කල යුතු එකම ක්‍රම වේදයක් ගැන නිමිති දකිනවා කියන එකයි.  නිමිත්තක් දකිනවා කියන්නේ මොකක්ද කියලා අදහස වැටහෙනවා නේ නේද?

ඉතින්, සම්මා සම්බුදු රඳුන්ගේ කාලයේ දී මාර්ග ඵල ආදිය ලබන්නට හැකි වූ... රහත් ඵලය ලබන්නට හැකි වූ සියලු ම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස මේ කියන සතර පෙර නිමිති ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කල පිරිසක්.  ඒ නිසා ම තමයි පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කරමින් මාර්ග ඵල ආදිය ලබන්නට හැකි වූයේ.

නමුත් ඔබ තවමත් මේ ලෙඩ වීම, මහලු වීම, මරණය කියන කාරණා නිමිති වශයෙන් දැක නුවණින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතිනම් ඔබ කොතරම් බණ දහම් ඇසුවත් පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ වෙනවා වෙනුවට ඔබට මතුපිට වූ කාරණා තමයි තථාගත සත්ධර්මය ලෙසින් දැනෙන්නේ.  උදාහරණයකට බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ බුදු දහමේ කියන්නේ ඉපදීම, ලෙඩ වීම, මහලු වීම, මරණය ආදී ජීවිතයේ අත්දකින්නට ලැබෙන සාමාන්‍ය ධර්මතාවය ගැන කියන කාරණා ගැන කියලයි.  ඒ මදිවට බණක් දහමක් අහන ගානේ, පිනක් කරන ගානේ ප්‍රාර්ථනා කරන්නෙත් ලෙඩක් දුකක් කරදරයක් නැතිව ඉන්න ලැබේවා කියලයි. 

ඉතින්, හොඳින් තමන්ගේ මානසිකත්වය විමසන්න ඕන.  තමන්ගේ හෝ තමන්ගේ ප්‍රියයන්ගේ ලෙඩ වීම, මරණය කියන කාරණා දරා ගන්නට නො හැකි නම්... දිනෙන් දින අබලන් වන තමන්ගේ කය... තමන්ගේ ප්‍රියයන්ගේ කය කෙරෙහි නුවණින් දැක ගන්නට නො හැකි නම්... ඡන්න රථාචාර්ය වගේ “ආ ඔව් ඉතින් අපි හැමෝම ලෙඩ වෙනවානේ... මහලු වෙනවානේ... මැරෙනවා නේ...” කියමින් තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා කාරණයක් වගේ කටමැත දොඩවමින් ලෙඩ වීමට, මරණයට, අබලන් වීමට පිළියම් සොයනවා නම් මේ අනුවණ කම නුවණින් දැකිය යුතුයි.

ඉදිරි කතුවැකිය තුලින් මේ කාරණය ගැන තවත් කාරණා ටිකක් විග්‍රහ කරලා දෙන්නම්.  එතකම් තමන් ගැන විමසන්න! තමන්ට අවංක වෙන්න!  තමන්ගේ අනුවණකම් වටහා ගන්නට උත්සාහවන්ත වන්න!  නැත්නම් මේ ශාසනයත්, මේ දිරා යන කය ගැනම වෙහෙසෙමින් මඟ හැරෙනවා කියන අභාග්‍ය සම්පන්න අත්දැකීම ලබන්නට වේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා