භාරගන්න, තේරුම් ගන්න, රස විඳින්න!

අප්‍රේල් 2019 කතු වැකිය

භාරගන්න, තේරුම් ගන්න, රස විඳින්න!

සටහනේ අන්තර්ගතය

එදිනෙදා ජීවිතයේදී එන ඕනෑම අවස්ථාවක් හමුවේ නිදහස්ව සතුටින් සාමකාමී මනසකින් ඒ අවස්ථාවන් සමඟ කටයුතු කරගන්නට මට හැකිවූ මම යොදාගත්... යොදාගන්නා අපූරු ක්‍රමයක් ඔබත් සමඟ බෙදාගන්නට මෙවර කතු වැකියේ සටහන යොදවන්නම්.

භාරගන්න - ජීවිතයේදී අපට විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා.  අප බොහෝ විට පුරුදු වෙලා තියෙන්නේ ඒ අවස්ථාව ඒ ලෙසින්ම භාරගන්නවා වෙනුවට අපට ඕනෑ ආකාරයට ඒ අවස්ථාවන් භාරගන්නට උත්සාහ කිරීමයි. 

ටිකක් හිතන්න! ඔබ ඔබේ නොවන ප්‍රශ්ණයකට ගැටලුවකට හෝ වේවා යම් යහපත් අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද?  ඔබේ ප්‍රතිචාරය කෙසේද?  ඔබ ඔබේ කරගන්නා ප්‍රශ්ණයක් ගැටලුවකදී / යම් අවස්ථාවකදී සහ ඔබේ නොවන එවැනි අවස්ථාවකදී ප්‍රතිචාරය වෙනස් නේද?  එහෙනම් භාරගන්නා ආකාරයේ ගැටලුවක් අනිවාර්යෙන්ම තියෙනවා.  ඒ භාරගන්නා ආකරය මත ඔබට ඒ ඒ අවස්ථා හමුවේ ලැබෙන්නේ විවිධාකාර ප්‍රතිඵල. බොහෝ දුරට මහා පීඩාකාරී ප්‍රතිඵල.  අන්න ඒ නිසා මේ ක්‍රමයේදී මුලින්ම කල යුතු දේ තමයි “භාරගැනීම”. ලැබෙන ඕනෑම අවස්ථාවක් ඒ ආකාරයෙන්ම මුලින්ම භාරගන්න.  හැබැයි ඔබේ කරගෙන නෙවේ.  පිටස්තරයෙක් වගේ.

තේරුම් ගන්න - තමන්ගේ කරගෙන තේරුම් ගන්නවාට වඩා ඉතාමත් පැහැදිලි නිවැරදි අවබෝධයක් ලබන්නට හැකියි පිටස්තරයෙක් වෙලා යමක් විමසීමේදී.  නිවහල් මානසිකත්වයක් තුලින් පමණයි යමක් නිවැරදිව තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ.  එසේ නම් ලැබෙන අවස්ථාව පිටස්තරයෙක් වගේ භාරගත් විට එතැන නිවහල්බාවයක් තියෙනවා. එවිට ඒ අවස්ථාව නිසි ලෙසින් තේරුම් ගන්නට හැකියාවක් ලැබෙනවා.

රස විඳින්න - තමන්ට ලැබෙන අවස්ථාවක් තමන්ගේ නොකරගෙන පිටස්තරයෙක් වගේ භාරගෙන එය අවබෝධ කරගන්නට... තේරුම් ගන්නට උත්සාහ කරන වැඩපිලිවෙල තුල පුදුමාකාර රස වින්දනයක් තියෙනවා.  සැබැවින්ම ඕනෑම අවස්ථාවක් සතුටෙන් සැහැල්ලුවෙන් විදගන්නට මේ විදියට හැකියාවක් ලැබෙනවා.  පුදුමාකාර සාමකාමී බවක් අත්දැකගන්නට හැකිවේවි.

මේ අවස්ථා 3ට පිළිවෙලක් නෑ.  එකට එක බද්ධ වෙලා තියෙන්නේ.  ඕනෑම ක්‍රමයක් අනුගමනය කරනකොට එයට ආරම්භක අවදියක් තියෙනවා... ඉන්පසුව ටිකක් දක්ෂයෙක් වගේ ඇසුරු කරන්න පුළුවන් අවදියක් තියෙනවා... ඒ වගේම අවසානයේ අතිදක්ෂයෙක් බවට පත්ව කටයුතු කරන්නට හැකි අවදියකට පත්වෙනවා.  ඉතින් මේ කියන අති දක්ෂ අවදියට පත්වෙන්නට ඔබට අනිවාර්යෙන්ම බුදු දහමේ ගැඹුර අත්දැකගන්නටම වෙනවා.  ඔන්න දැන් හිතන්න එපා මේක ලියන කෙනා ඔබට ආගම මාරු කරන්න කියනවා කියලා.  එහෙම දෙයක් නෙවේ.  නිවන් මඟ විශේෂත්වය තමයි අප අපවම ඉතාමත් නිවැරදිව අවබෝධ කරගැනීම.  හැබැයි අපි දන්න සාමාන්‍යයෙන් අපි හිතන පතන විදියට අපව අවබෝධ කරගැනීමක් නොවේ. 

අප මේ ලෝකයේ අවබෝධ කල යුතු තේරුම් ගත යුතු යථාර්ථයක් පවතිනවා.  අන්න ඒ යථාර්ථය අවබෝධ වූ කල ලැබෙන අවස්ථාව කිසිදු නිගමනයකින් තොරව ඒ ලැබෙන ආකාරයටම භාරගන්නත්, තේරුම් ගන්නත්... රස විඳින්නත් උපරිමයෙන්ම හැකිවෙනවා.  කොටින්ම පෙනීම, ඇසීම, දැනීම, විඳීම කියන මූලිකම අවස්ථා වලදී පවා මේ දේ සිදුවෙනවා.  ඒ අවස්ථාවට පත්වෙන්නට කටයුතු සලසා ගැනීම ඔබගේ පෞද්ගලික කැමැත්ත, දක්ෂතාවය සහ සෘජුබව මත තීරණය වේවි. 

එතෙක්, යම් අවස්ථාවක් ලැබූ කල තරහා එනවා නම්... ඇලෙනවා නම්... කුමන ආකාරයකට හෝ ප්‍රතිචාර දැක්වෙනවා නම් මොහොතක් නවතින්න... ඒ අවස්ථාව භාරගත්තේ කෙසේදැයි විමසන්න.  නිවැරදිව ඒ අවස්ථාව භාරගන්න... තේරුම් ගන්න... මුළු සිද්ධියම රස විඳින්න!  සතුටින් සැනසීමෙන් විශේෂයෙන්ම සැහැල්ලුවෙන් එදිනෙදා කටයුතු කරගන්නට අනිවාර්යෙන්ම හැකියාවක් ලැබේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා