තමන්ගේ අවධානය පිණිස!

ජූනි 2019 කතු වැකිය

තමන්ගේ අවධානය පිණිස!

සටහනේ අන්තර්ගතය

අතිශයින්ම සසර පැවැත්ම අවසන් කරගැනීමට අවංකවම කැපවූවන් උදෙසා පමණි! නිවන් යන පිරිසටත් නිදහසේ නිවන් යන්නට පරිසරය තැනිය යුතු යැයි පවසන පිරිස් වෙත හෝ ලෝක පොරයට හිතැතිව ලෝකයේ ජය ලබන්නට වෙර දරන්නවුන් වෙත නොවේ! යමෙක් තම තමන්ට රිසි දේ කිරීම කිසිදු වරදක්ද නොවේ! එය වරදක් වනුයේ තමන් විසින්ම යම් දිනක එයින් තමන්ටත් අනුන්ටත් සිදුවන හානිය හඳුනාගත් මොහොතකදී පමණි!

ඔබත් සත්ධර්මයේ හැසිරෙන සත්ධර්මය කතා කරන සත්ධර්මයට ලැදියාවක් ඇති අයෙක්ද?

නිවන් යන්නට අවශ්‍ය යැයි අවංකවම සිතනවාද?

එසේ නම් ඔබ ඔබතුලට එබෙන්න...

විමසන්න... තමන්ගෙන්ම..

අවංකවම බලන්න ඔබට කර්මය ගැන ඇති අවබෝධය?

කරපු කියපු සිතපු දේ අනුව කර්ම විපාක ලැබෙන බව ඔබට අංවකවම දැනෙනවද?

එය හුදෙක් විශ්වාසයක් පමණක්ද? නැතිනම් අවංකවම දැනෙනවද?

දැනෙනවා නම් සිදුවන නොයෙක් දේ හමුවේ මෙතරම් කම්පා වෙන්නේ ඇයි?

වෙනස් නොවන එකම දේ වෙනස්වීම යැයි පවසන ඔබට පුංචි හෝ වෙනස්වීමක් දරාගන්නට නොහැකි මන්ද?

කැමති සේ නොපවතින බව එකම දහම යැයි පවසන ඔබ කැමති සේ පවත්වා ගන්නට මෙතරම් වෙර දරන්නේ මන්ද?

අනිත්‍යයයි කියමින් සැමවිටම නිහඬ විය නොහැකි බව පවසන්නේ මන්ද?

මායාවක්ය මුලාවක්ය යැයි කියමින් තර්ක වාද කරන ඔබට පුංචි පරිසර වෙනස්වීමක් දරාගන්නට නොහැකි මන්ද?

විමසන්න... තමන්ගෙන්ම...

වැදගත් වෙන්නේ අනෙක් අය හැසිරෙන හෝ ප්‍රතිචාර දක්වන ආකාරය නොවේ...

වැදගත් වෙන්නේ නිවීම පිණිස අංවකවම කැපවී ඇති ඔබගේ ප්‍රතිචාරයයි!

වැදගත් වෙන්නේ රට ජාතිය ආගම කුල මල භේදයන් ඇතුලු පැවැත්ම පිණිස වූ ධර්මතාවයන් ඔබ අවබෝධ කරගෙන සිටිනවාද, ඒවාට උරුම වූ සැබෑම ධර්මතාවයන් ඔබ අවබෝධ කරගෙන සිටිනවාද?

නැතිනම් නිකම්ම නිකම් වචන ටිකක් කියමින් සිටින දාර්ශනික චරිතයක් පමණක්ද යන්න බවයි...

ඒ නිසා තමන්ට අවංක වී එබෙන්න... ඔබ තුලට...

විමසන්න... තමන්ගෙන්ම...

‍‍වෙනස් වීම දරාගත නොහැකිව තමන්ට රිසි සේ වෙනසක් ඇති කරගන්නට දරන වෑයම ඔබව නිවනින් ඈත් කරනවාද නිවනට ලං කරනවාදැයි...

විමසන්න... තමන්ගෙන්ම...

සියලු ලෝ සතට යහපත පිණිසම හේතු උපකාර වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා