පිරුනේ කෙසේ ද?

ජූනි 2020 කතු වැකිය

පිරුනේ කෙසේ ද?

සටහනේ අන්තර්ගතය

බහුශ්‍රැත භාවය හෙවත් “බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව” ගැන අසා ඇති. සමහර විට දැනටමත් බහුශ්‍රැත හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවක් ඇති. නිවන් මඟ දහම් තුල නිතර කියවෙන මේ බහුශ්‍රැත භාවය හෙවත් “බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව” අපට වැදගත් වෙන්නේ කෙසේ දැයි මෙවර කතු වැකියෙන් විමසා බලමු.

බහුස්සුත, බහුශ්‍රැත කියන්නේ බොහෝ දේ අසා ගත් පුද්ගලයාට.  තවත් විදියකින් කියනවා බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියලා.  ඉතින් “බොහෝ ඇසූ පිරූ” කියන කොට වචනයෙත් තියෙනවා “පිරූ”  කියන අදහස... අහන දේ තුලින් පිරෙන ආකාර දෙකක් තියෙනවා කියලයි මගේ නම් අදහස. බලන්න මේ මාතෘකාව කලින් පුරෝගත්ත දේවල් වලින් තොරව අසා දැනගන්නට හැකිද කියලා?

අහන අහන දේ පුරෝ ගන්න ක්‍රමය

මේ ක්‍රමයේ දී අහගත්ත දේ මතකයේ තියා ගෙන ඒ අහගත්ත දත්ත වලින් පිරෙනවා.  මේ වගේ බහුශ්‍රැත පුද්ගලයන් එක්ක කතා කරන්නත් ලේසි පහසු නෑ.  කතා කරන දත්ත ගබඩාවක් වගේ තමයි.  බොහෝ දේ ගැන දන්නවා.  මතක ශක්තිය හොඳට තියෙන පුද්ගලයෙක් වුනොත් තවත් තත්වය දරුණු වෙනවා.  මොකද අහන හැමදේම මතකයෙත් තියෙන නිසා.  ගැටලුවක් නෑ හැබැයි... පැවැත්මට හොඳයි.  මේ වගේ පුද්ගලයන්ට ලෝක සම්මතයේ ගොඩක් වටිනාකමක් ලැබෙනවා.  ඒ නිසාම මේ වගේ පුද්ගලයින්ගේ මාන්නය පොඩ්ඩක් වැඩි වෙන්නත් බැරි නෑ.  දැන් බලන්නකෝ ඔබත් මේ වගේ අහගත්ත දේවල් වලින් පිරිලා ඉන්න කෙනෙක්ද කියලා!

බුදු හිමියන්ගේ කාලයෙන් උදාහරණයක් ගන්නවා නම් බුදු හිමියන් සමඟ නිතර වාදයට පැමිණි සච්චක මේ වගේ කෙනෙක්.  දන්න දෙයින් පිරිලා ඒ පුරෝ ගත්ත දත්ත වලින් වාද කරනවා.  වාද කරන්නෙත් අන් අයව පරද්දන්න නිසා කවදාවත් ඒ කියන දෙයක් අසාගෙන පිරුණු පුද්ගලයෙක් බවට පත්වෙන්නෙත් නෑ. බුදු හිමියන් හමුවුනත් නිතර දහම් කරුණු අසන්නට ලැබුනත් ඒ දේවල් නිවැරදිව අසා ගෙන දරා ගෙන පිරුණු පුද්ගලයෙක් බවට පත්වෙන්නට සච්චකට ඒ ජීවිතයේදී නොහැකි වුණා.  

බක බ්‍රහ්මයාත් මේ ජාතියේ එක් කෙනෙක් තමයි... ඒ නිසා තමයි පෙර අසා ගත්ත දේවල් ඔලුවේ පුරෝගෙන යමක් අහන්න එන අයට යමක් කියන අය “බක පණ්ඩිතයා” කියලත් කියන්නේ. 

හේතුව තමයි, පිරුණ දෙයක් නැවත පුරවන්න බෑනේ.  ඇසූ දේ පුරෝ ගන්නට නම් හිස් වෙලා අහන්න වෙනවා.  එතකොට තමයි ඇසූ පිරූ තැන් ඇත්තටම බොහෝ වෙන්නේ.  නැත්නම් අසා ගත් එකම දෙයක් පුරෝගෙන නැවත නැවත අසන වාරයක් ගානෙත් පිරුනාය කියලා හිතා ගෙන ඒ පුරෝගත්ත එකෙන්ම තමයි වැඩ. 

මේ දේ අත්දැකීමෙන් ම තේරුම් ගන්න ඕන නම් කෝප්පයක් වීදුරුවක් අර ගෙන වතුර පුරවන්න.  එය සම්පූර්ණයෙන් පිරුණාට පසුවත් දිගටම පුරවන්න.  පිරෙනවද?  කරලා බලන්න!

අහන දෙයින් පිරෙන ක්‍රමය

යම් කෙනෙක් තමන් අහගත්ත දේ හි අදහස දරා ගෙන පිරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා.  ඒ පුද්ගලයාට සමහර විට ඒ අහගත්ත දේවල් වලට දත්ත මතක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්... ඒ අහගත්ත කාරණා මතක තිබුනත් නැතත් ඒ කියන්නේ ඒ දත්ත ටික පුරෝගෙන හිටියත් නැතත් මේ පුද්ගලයා අහගත්ත දේ නිසාවෙන් පිරුණු පුද්ගලයෙක් බවට නම් පත් වෙනවා.  අහන වාරයක් ගානේ ඒ අහන දේ හි අර්ථය අදහස නුවණින් විමසා දැන දරා ගෙන මේ පුද්ගලයා පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. 

දත්ත මතකයේ නො තිබුණාට අහගත්ත දේ තුලින් පිරුණු පුද්ගලයෙක් බවට පත් වූ චරිතයක් තමයි චුල්ල පන්ථක මහ රහතන් වහන්සේ.  බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දුන්න කාරණය නිවැරදිව හිස් වෙලා අසා ගන්නට හැකි වුනා.  අසා ගත්ත දේ දරා ගත්තා... දරා ගත්ත දේ තුලින් පූර්ණ පුද්ගලයෙක් වුණා.  ඒ කියන්නේ රහත් බව පූර්ණය කලා.

අහගත්ත  සෑම දෙයක් ම මතකයේත් තිබුණ හරියට ඇවිදින දත්ත ගබඩාවක් වගේ හිටියත් හැබැයි ඒ අහගත්ත සෑම දෙයකින් ම පිරුණු පුද්ගලයෙක් බවට පත් වූ චරිතයක් තමයි බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක තනතුරු දැරුව ආනන්ද හිමියන්.  උන්වහන්සේට තමන් වහන්සේ අසා ගන්න සෑම දෙයක් ම මතකයේත් තිබෙනවා... ඒ දේවල් වල අදහසත් දරාගන්නට තරම් නුවණකුත් තිබුනා.  උන්වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වුණා.

තමන් කොතරම් දැන ගෙන හිටියත්, දැනුවත් භාවය කොතරම් තිබුනත්, කොතරම් අසා ගත්ත දේවල් තිබුනත් තවමත් අලුතෙන් අසා ගත යුතු දේ තිබෙනවා... අවබෝධ කර ගත යුතු දේ තියෙනවා... කියන්නා වූ හැඟීමෙන් ඥානයෙන් කටයුතු කරන පුද්ගලයාට තමයි අසා ගන්නා ඕනෑම දෙයක් තුලින් ඇත්තටම පිරුණු කෙනෙක් බවට පත්වෙන්නට හැකියාවක් තියෙන්නේ. 

අන්න ඒ නිසා යමක් අසා ගන්න  හැම තැනක දීම පරිස්සම් වෙන්න ඕන දේ තමයි තමන්ගේ බහුශ්‍රැත බාවය හෙවත් තමන් මොහොතකට පෙර හෝ අසා ගත් දේවල් ඉදිරිපත් නොවෙන්නට වග බලා ගැනීම.  මේ පාර පුරෝ ගත්ත සියල්ල හිස් කර ගනිමු... හිස් කරගෙන අහන... අසන සෑම මොහොතක ම  පරිපූර්ණ බවට පත් වන්නෙක් වෙන්නට අදිටන් කර ගනිමු! 

සැබෑම බහුශ්‍රැත පුද්ගලයෙක් වෙන්නට ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදයන් ලැබේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා