පිරිහෙන්නට කැමති ද?

නොවැම්බර් 2021 කතු වැකිය

පිරිහෙන්නට කැමති ද?

සටහනේ අන්තර්ගතය

යම් සේ කලුවර පස සඳ ට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේ ම ය, උස මහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකු හට කුසල් දහම් හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල් දහම් හි නුවණ නැද්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ. පිරිහෙන වැඩපිළිවෙලක් අනුගමනය කරමින් උතුම් ගුණ දරන්නෙක් යැයි රැවටී සිටී නම්... ඒ අඩුපාඩු හඳුනා ගන්නට සම්මා සම්බුදු ඔවදන විමසමු!

එක්තරා අවස්ථාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හට සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියනවා භික්ෂූන් ට අවවාද කරන්න කියලා... දැහැමි කතා කියා දෙන්න කියලා... එවිට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බුදු රඳුන්ට කියනවා... දැන් කියන දේ අහන්නේ නැති... අවවාද අනුශාසනා කරනවාට අකමැති... අකුසල ධර්මය ට ම ලැදි භික්ෂූන් වහන්සේලා බහුලයි... පිරිහීමක් මිස වැඩීමක් කැමති වන්නට නොහැකියි කියලා.  ඒ අවස්ථාවේ උපමා කතාව තමයි පෙර සඳහන් කලේ. 

එතැනදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවසූ තව කාරණයක් තමයි ශ්‍රද්ධාව නැති පුද්ගලයා පිරිහෙනවා... හිරි, ඔතප් නැති පුද්ගලයා පිරිහෙනවා... කුසීත පුද්ගලයා... ප්‍රඥාව නැති පුද්ගලයා... කිපෙන සුලු පුද්ගලයා... බද්ධ වෛර ඇති පුද්ගලයා... පිරිහීම ම කැමති විය යුතුයි.  අවවාද අනුශාසනා දෙන්නට සුදුස්සන් නැති බව ද පිරිහීමකි යන කාරණය.  ඉතින් සම්මා සම්බුදු රඳුන් ද මේ කාරණය තව දුරටත් විග්‍රහ කරමින් අනුමත කරමින් සුපුරුදු පරිදි හරිම අපූරු සංවාදයක් සිදු වෙනවා.  මෙය අපට සංයුත්ත නිකායේ, නිදාන වර්ගයේ, කස්සප සංයුත්තයේ දෙවන ඔවාද සූත්‍රයේ දැක ගන්නට හැකියි.  සම්පූර්ණ සූත්‍රය කියවන්න >>

ඉතින් මේ සිද්ධිය තවමත් එසේ මයි.  ඒ තමයි ඉතින් ශාසනයක ස්වභාවය.  අවංකව ම කැප වෙන පිරිස කැප වෙනවා. බහුතරය අකුසලය ට ම බර වෙලා පැවැත්ම තුල රෝන්දේ ගහනවා.  ඔබත් මමත් අනන්ත බුද්ධ ශාසන ගණනාවක ම සිදු කලේ මේ උතුමන්ගේ අවවාද අනුශාසනා වලට ගරු නො කොට අකීකරු ව පැවැත්ම තුල රෝන්දේ ගැසීම මයි.  එයින් අපට ලැබුණ වාසියක් නැති බව වැටහෙන්නේ යම් මොහොතක මේ සාසනයෙන් ලැබෙන උතුම් ධර්ම දායාදය හිමි වූ විට පමණයි.  එතකම් ම ඉතින් අපට අහිමි වී ඇති දේ හි වටිනාකම ගැන අපට අදහසක් ගන්නවත් නොහැකියි.

ඔබ ශ්‍රද්ධාවන්තයෙක් නම් ඇහුම් කන් දීම... අනෙක් පාර්ශවයට ගරු කිරීම... උතුමන් ලොව ඇතැයි යන විශ්වාසයෙන් යුතුව නිරන්තරයෙන් උතුමන්ගේ අවවාද අනුශාසනා විමසමින් ඒ අනුව කටයුතු කිරීමට කැපවීම... පුංචි දරුවෙකුට වුවත් ඇහුම්කන් දෙමින් තමන්ගේ ජීවිතයට ගත යුතු යහපත් දේ එකතු කරගන්නට කටයුතු කරනවා. ඔබ තුල ඇති කෘතවේදී භාවය, ඇහුම්කන් දෙන ස්වභාවය, කිසිම වර්ග කිරීමක් නැතිව ගරු කිරීම යෙදෙන ස්වභාවය, නීති ගරුක බව, ප්‍රතිපත්ති ගරුක බව ආදී කාරණා තුලින් ඔබගේ ශ්‍රද්ධා මට්ටම් ඔබට හඳුනා ගන්නට හැකියි.   මෙන්න මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට පිරිහීමක් නෑ... යහපතක් මයි සිදු වන්නේ.

මෙන්න මේ ඇහුම්කන් දීම තුල කුසලය අකුසලය නිසි ලෙසින් අවබෝධ කරගන්නට අවස්ථාව සැලසෙනවා.  දන්නා කුසලයෙන් ඔබ්බට ගොස් කුසලයේ ගැඹුර අවබෝධ කර ගන්නට අවස්ථාව සැලසෙනවා. ශ්‍රද්ධාව නිසි සේ ඇති පුද්ගලයාට ප්‍රඥාව ලැබෙන්නේ එහෙමයි. දන්න ටික ම දන්නවා දන්නවා කියමින් මහන්තත්වකම් ඇති වෙන්නේ නෑ.  නො දන්නා බව ගැන මයි අවබෝධය ලැබෙන්නේ.  පාපය වැටහෙනවා... පාපයට ලැජ්ජා ඇති වීම භය ඇති වීම කියන කාරණා අවබෝධ වෙනවා.  හදවතට ම දැනෙනවා. ජීවිතයට එකතු වෙනවා. අවබෝධයෙන් වීර්ය කරනවා.  කුසල් දහම් ප්‍රගුණ කරන්නට කම්මැලි වන්නේ නෑ. එදිනෙදා ලෝක වැඩපිළිවෙල තුල අකුසල් සහගත වැඩපිළිවෙලට යොමු වීම... පාප සහගත වැඩපිළිවෙලට යොමු වීමට තමයි කම්මැලි. ඒවායෙන් ඉවත් ව කුසලයේ පිහිටන්නට කම්මැලිකම ඇතිවෙන්නේ නෑ.  ඒ තුලමයි ප්‍රඥාව වැඩෙන්නේ. 

ප්‍රඥාව වැඩෙන විට කිපෙන සුළු බව ඉවත් වෙනවා.  පුංචි පුංචි දේට ත් තරහා ඇති වීම... ගැටීම... අප්‍රිය සුළු ස්වභාවයන් හිතේ සකස් වීම... ක්‍රම ක්‍රමයෙන් බද්ධ වෛරයන් බවට පත් කර ගැනීම් මේ සියල්ලම නැති වෙනවා.  වරද වරද සේ දකිමින් තව තවත් අවවාද අනුශාසනා ලබා ගන්නට කන් යොමු කරනවා.  මේ විදියට වැඩීමක් මිස පිරිහීමක් නම් අත්දකින්නට ලැබෙන්නේ නෑ‌. 

ඉතින් “අපි ඉන්නේ ගිහි පරිසරයේ අපිට කැප වෙන්න බෑ” කියලා ඔබට හිතෙනවා නම්... “පැවිදි පාර්ශවයට විතරයි නිවන් මඟ ගිහි පරිසරයේ ඉඳලා කරන්න බෑ” කියනවා නම්... ගිහි වේවා පැවිදි වේවා ඔබ තුල තවමත් ශ්‍රද්ධාව ප්‍රබල නෑ.  තෙරුවන කෙරෙහි විශ්වාසය නිසි පමණට සකස් වෙලා නෑ.  සම්බුද්ධ ශාසනයක ප්‍රබල බව තවමත් හදවතට දැනිලා නෑ. සම්මා සම්බුද්ධ ශාසනයක තථාගත බුද්ධ වචනය අවබෝධ කර ගැනීම පිණිස ගිහි පැවදි භාවය හෝ ආගම් ජාති කුල මල තත්ව තානාන්තර භේදයන් හෝ මනුස්ස දේව බ්‍රහ්ම ලෙසින් හෝ බේදයක් නෑ.  ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කාරණා... නැත්නම් මේ ඉහත විග්‍රහ කල කාරණා ඔබ තුල යෙදෙනවා නම් ඔබට තථාගත ධර්මය විවර වෙනවා.  එසේ නම් ඒ තෙරුවනේ ආශ්චර්ය අත්දැක ගැනීම පිණිස කැප විය යුතුයි.

වැදගත් වන්නේ ඔබ මේ සසර දුක් කෙළවරක් කර ගන්නට කැමතියි ද කියන කාරණය පමණයි.  එසේ නම් තමන්ගේ ඒ කැමැත්ත ඉටු කර ගැනීම පිණිස ඔබ විසින් විරිය කල යුතුයි.  ඒ වෙනුවෙන් කැප විය යුතුයි.  ඔබ ගිහි පරිසරයක ඉන්නවා වෙන්නට පුළුවන්... පැවිදි පරිසරයක වැඩ වාසය කරන පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූණීන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්... කව්රුන් වුවත් සාසනයේ නිසි ඵල අත්දැකීමට නම්... සම්බුදු ඔවදනට අනුව කටයුතු කරමින් කැප විය යුතුමයි.  එවිටයි මේ ශාසනයේ සැබෑ අසිරිය අත්දැක ගන්නට හැකි වෙන්නේ. 

පුර පස සඳ ට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස මහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල් දහම් හි සැදැහැ ඇත්ද, … හිරි ඇත්ද, … ඔතප් ඇත්ද, … වැර ඇත්ද, කුසල් දහම් හි නුවණ ඇත්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම් හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ කියලයි මෙවන් පුද්ගලයාට සම්මා සම්බුදු රඳුන් ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය පෙන්වා දුන්නේ.

උතුම් සම්මා සම්බුදු රජුන් සරණ යන්නට... තෙරුවන් සරණ යන්නට ඔබ කරන කියන බාහිර වැඩපිළිවෙල හෝ බාහිර අඳින පළඳින හැසිරෙන ආකාරය බාධාවක් කර නො ගෙන සිත රැක ගන්නා වැඩපිළිවෙලට කැප විය යුතුයි.  නිරන්තරයෙන් තමන්ගේ සිතේ ඇති වන ඇලීම... ගැටීම... වටහා ගන්නට කැප විය යුතුයි.  ඒ දේවල් නැති කර ගැනීමට ශාස්තෘන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මොනවා දැයි විමසිය යුතුයි.

ඔබ බාහිරයෙන් කොතරම් සංවර වුවත්... ඔබ ඉතාමත් සංවර යැයි සම්මත ඇඳුම් අඳින පළඳින චරිතයක් වුවත්... ඔබ පූජ්‍ය පක්ෂයට ඇතුලත් වුවත්... සමාජයේ ගරු කටයුතු යැයි සම්මත කෙනෙක් වුවත්... සමහර විට ඔබ උත්තරීතර මනුස්ස ගුණ ධර්ම හෙවත් ආර්ය භාවයන් ප්‍රකාශ කරන... ධ්‍යාන ආදිය ප්‍රකාශ කරන... උතුම් යැයි සම්මත කෙනෙක් බවට හිතා ගෙන ඉන්නවා වෙන්නට පුළුවන්.  නමුත් ඔබට ශ්‍රද්ධාවක් නැතිනම්, කිසිවෙකුටත් ඇහුම්කන් දෙන්නේ නැතිනම්, කිසිවෙකුටත් ගරු කරන්නේ නැතිනම්, මාන්නය කුහක බව ඉරිසියාව ඇලීම් ගැටීම් බහුලයි නම්... කව්රුන් සමඟ හෝ මොන යම් හෝ කාරණා ඔස්සේ වෛර බැඳ ගන්නවා නම්... ධර්මයේ නාමයෙන් හෝ තවත් පිරිසක් සමඟ ගැටෙනවා නම් කිපෙන සුළුයි නම් ඔබ තවමත් මේ ශාසනයෙන් බොහෝ දුර සිටින පුද්ගලයෙක්.  බැලූ බැල්මට ඔබට පැවිදි රුවක් විය හැකියි... ඉතාමත් ප්‍රකට බෞද්ධයෙක් විය හැකියි... නමුත් ඔබ තවමත් ශාසනයේ සම්බුදු පිය රජුන් අනුමත කල බොදුනු ගුණ දරන සැබෑ බෞද්ධයෙක් ‌නොවේ.  ඒ නිසා විමසන්න.  සම්බුදු ඔවදන නිරන්තරයෙන් විමසන්න.  කුසල් දහම් පරික්ෂා කරමින් කැප වෙන්න! අති දුලභ තෙරුවනේ ආශ්චර්ය අත්දැක ගන්න!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා