ඉවර නොවන අරගලයක සිරවූවෝ!

අගෝස්තු 2019 කතු වැකිය

ඉවර නොවන අරගලයක සිරවූවෝ!

සටහනේ අන්තර්ගතය

අපේ සිත් බොහෝ විට දැවෙනවා රට ජාතියට... ආගමට දහමට සිදුවන සිදුවීම් හමුවේ කම්පා වෙනවා. සුපිරිසිදු නායකත්වයක් ඉල්ලා සිත හඬා වැටෙනවා. ඒ හඬා වැටෙන හැම හිතක්ම බලාපොරොත්තු වෙලා ඉන්නේ එවැනි නායකත්වයක් පැමිණියොත් 100% හැම දෙයක්ම යහපත් වෙයි. ඒ ලැබෙන යහපත සදාකල්ම පවතීවි වගේ හැඟීමක්... ඒත්... මෙවර කතු වැකිය තුලින් සිතන්නට යමක් සටහන් තබන්නම්!

රජ කාලේ ඉඳලා ඉතිහාසය පුරාවට සිදුවීම් බැලූ විට...

සුන්දර රටක සතුටින් ගත කල කාලයක් තිබිලා ඇති හැඩයි...

අපට රට නැතිවෙයි කියලා මහා බයකින්...

අසහනයකින් විඳවපු කාලයක් තිබිලා ඇති හැඩයි...

යුධ බිය අවසන් කරලා රජුන් රට එක්සේසත් කරලා

ජය ඝෝෂා නැගූ කාලයක් තිබිලා ඇති හැඩයි...

රට ලස්සන වෙලා ස්වයංපෝෂිත වෙලා

සරුසාර වූ කාලයක් තිබිලා ඇති හැඩයි...

නැවතත් යුධ බිය ඇති වෙලා... පාවා දීම් වෙලා...

විශ්වාසයන් කඩ වූ කාලයක් තිබිලා ඇති හැඩයි...

දේශ ප්‍රේමීන් එදාද අදද මතුද හඬ නඟා දිවි පුදා සටන් කරනා හැඩයි...

පාවා දෙන්නෝ එදාද අදද මතුද බොරු කියා වංචා කර ගිනි අවුලවන හැඩයි...

මේ රටාව... මේ චක්‍රය... එදාද අදද මතුද තියෙනා ධර්මතාවයයි...

කෙනෙකුට යහපත් යැයි සිතෙන දේ තවත් කෙනෙකුට අයහපත්මයි...

කෙනෙක් පාවා දෙන්නේ යහපතක් කරනවා කියා යැයි සිතන කල...

තවත් කෙනෙක් දිවි දෙන්නේ ඒ තුල අයහපත දකිනා නිසාමයි...

එදා දේශප්‍රේමීන් නැවත ඉපිද අවලාද උපවාද අදද අසති...

එදා ද්‍රෝහීන් අදද නැවතත් පුරුදු දේ කරගෙන යති...

ඒවාට කම්පා වූ සිත් සතුටු වූ සිත් අදද එලෙසින්ම පෙල ගැසෙති...

මොහොතකට නවතින්න...

ඔය අසහනය... ඔය දාහය...

ඔය වේගවත් සිත මොහොතකට නවත්වාගන්න...

මේ ධර්මතාවය දරාගන්නට නොහැකිව...

දැනටමත් කොතරම් අයහපත් දේ කිව්වාද... කලාද... සිතුවාද?

නුවණින් දැක ගන්න... මොහොතකට විමසන්න...

ලෝකය මැවූවා යැයි කියන සර්වබලධාරී දෙවියන්වත්...

ධර්මතාවය තතු සේ දුටු... එය වෙනස් කරන්නට පවා බල තිබූ බුදු හිමියන්වත්...

මේ රටාවට... මේ චක්‍රයට අත ගැසුවේ නැත... වෙනස් කලේ නැත... 

එය ඒ අයුරින්ම භාරගන්නට තම සිත සකසා ගෙන නුවණැත්තන්ටද එසේම කරගන්නට මඟ පෙන්වූ සේක!

මේ අවසානයක් නැති අරගලයෙන් මිදෙන්නට දැන්වත් උත්සාහ කරන්න... අවංකවම...

තමන් වෙනුවෙනුත්... තව බොහෝ පිරිසක් වෙනුවෙනුත්...

තමනුත් නිවී... තවත් සිත් බොහෝමයක් නිවා සනසාලන්න...

පසු සටහන: ආධ්‍යාත්මයෙන් දියුණු නොවූ... ආර්ය නොවූ සිතක් ඇත්තෙකු 100%ක් යහපත් ලෙසින් හැසිරේවි යැයි සිතාගෙන සිහින ලෝකයක අතරමංව නායකත්වයක් නොසොයා ලෞකිකත්වය තුල යහපත් දේ කර පෙන්වූ... යහපත් දේ කරන්නට ශක්තියක් තියේවි යැයි සිතෙන්නෙකුට ඔබේ කැමැත්ත ප්‍රකාශ කර මේ ඉවරයක් නැති රටාවෙන්... චක්‍රයෙන් මිදෙන්නට කාලය වැය කරගන්නට උත්සාහ කරත්වා!   නායකත්වයටම භාර නොදී රට වෙනුවෙන් මිනිසෙක් වශයෙන්, පුරවැසියෙක් වශයෙන් තමන් විසින් කල යුතු යුතුකම් සොයා බලා කරන්නට නුවණැති වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා