ආධ්‍යාත්මික හොරු

ජූලි 2019 කතු වැකිය

ආධ්‍යාත්මික හොරු

සටහනේ අන්තර්ගතය

කව්ද මේ ආධ්‍යාත්මික හොරු? ටිකක් සැර වැඩියිද මන්දා... කමක් නෑ... කිසිවෙකුටත් අපහාස කරන්න විවේඡනය කරන අරමුණින් නොව මේ වගේ පිරිසගේ ගොදුරක් වන පිරිසටත්... තමන්ටත් නොදැනීම මේ වගේ කෙනෙක් බවට පත්ව ඇත්නම් එය සොයාගැනීමට උපකාරයක් වීම පිණිසත් කෙටි සටහනක් තබන්නම්. මේ මාතෘකාව මෙසේ දෙන්නට හේතුව වූයේත්... මේ කාරණය මෙසේ සටහන් තබන්නට හේතුව වූයේත් මගේ ජීවිතයේදී මම ලැබූ අත්දැකීමක් සමුදායක්ම තමයි. එහෙනම් අපි බලමු කව්ද මේ ආධ්‍යාත්මික හොරු කියන්නේ කියලා.

ආධ්‍යාත්මය දියුණු කර ගැනීම ඉතාමත් වැදගත් සහ වටිනා කාරණයක්.  ආධ්‍යාත්මය දියුණුව පිණිස කරගෙන යන වැඩපිලිවෙල තුලදී යම් යම් පුද්ගලයින් හට විශේෂිත ආධ්‍යාත්මික හැකියාවන් අත්දැකගන්නට හැකිවෙනවා.  ඒ දේවල් තුලින් යම් යම් මට්ටම් තුලින් තවත් පිරිසකට යහපතක් ගෙන දෙන්නට ඒ ඒ පුද්ගලයින්ට හැකිවෙනවා.  මේ වන විට ලෝකය පුරාම ආධ්‍යාත්මය දියුණු කරගන්නට උනන්දුව දක්වන පිරිස් බොහෝමයි.  ඒ අය අතරින් කෙනෙක් සැබැවින්ම ආධ්‍යාත්මික වශයෙන් යම් යම් දියුණුවක් ලැබූ යම් යම් හැකියාවන් ඇති අයයි. 

ඉන්පසුව දකින්නට ලැබෙන පිරිස තමයි මේ “ආධ්‍යාත්මික හොරු” කියන කොටස.  මේ අයගෙන් පිරිසක් සැබැවින්ම වංචාකාරී මානසිකත්වයක් තියෙන... තමන්ට ආධ්‍යාත්මික ශක්තීන් ඇතිබවට මවා පාමින් පිරිස මුලා කරන... සැබැවින්ම වංචාකාරී පුද්ගලයින්.  එයින් කොටසක් තමන්ට ආධ්‍යාත්මික දියුණුවක් ශක්තියක් තියෙනවා යැයි රැවටුණු පිරිසක්.  කෙසේ වෙතත් මේ දෙපිරිසගේම ගොදුරක් වීම ඔබට සැබැවින්ම සසර පැවැත්ම තුල තවත් අනාථ වෙන්නට සිදුවෙනවා යැයි පැවසීම නම් වරදක් නොවේ.

මේ වන විට යූටියුබ් වැනි වීඩියෝ හරහාද අන්තර්ජාලය හරහාද ආධ්‍යාත්මයට සම්බන්ධ ආධ්‍යාත්මික ශක්තීන්ට සම්බන්ධ බොහෝ දේ සොයා ගැනීමට හැකියි.  දත්ත බහුලයි.  ඉතින් සැබැවින්ම වංචනික අදහස් දරාගෙන සිටින ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස තවත් ජීවියෙක්ව අමාරුවේ දමන්නට බලාගෙන සිටින පුද්ගලයින් මේ දත්ත එකතු කරගන්නවා.  එයාලගේ නිර්මාණශීලී හැකියාවන් තුලින් ඒ එකතු කරගත්ත දත්තයන් තමන් අවබෝධ කරගත්තා සේ පිටතට හුවා දක්වනවා.  එවිට එහි ගොදුරක් බවට පත්වන ඔබට දැනෙන්නේ තමන් සැබැවින්ම ආධ්‍යාත්මය දියුණු පුද්ගලයෙකුගේ  සරණ ලබන බවයි. 

ඒ වගේම තමයි සමහර අවස්ථා තියෙනවා යම් යම් පුංචි ආධ්‍යාත්මික හැකියාවන් සහිත පුද්ගලයින් සිටිනවා.  ඒ අයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් ඇසුරු කරන්නාව තමන් කියන දේ විශ්වාස කරන තත්වයට පත්කරගන්නට තරම් දක්ෂ කමක් තියෙනවා.  ඉන්පසුව තමන්ට රිසි සේ ලාභ, ප්‍රයෝජන ලබන්නට කටයුතු කරගන්නවා. 

මම දකින වඩාත්ම අවාසනාවන්ත කාරණය තමයි මේ ආධ්‍යාත්මික පුද්ගලයින් බොහෝ විට බුදු දහම... හෙවත් පිවිතුරු නිවන් මඟ තමන්ගේ මගයැයිද හුවා දක්වන්නට කටයුතු කිරීම.  ඉතාමත් සීලවන්තබවක්... ශ්‍රද්ධාවන්තබවක්...යනාදී මවා පෑම් බහුල නිසාම මේවාට ගොදුරු වන පුද්ගලයන්ද හිතන්නේ තමන් විසින් බුදු දහම සරණ ගිය බුදු දහමට අනුව ආධ්‍යාත්මය දියුණු කරන පුද්ගලයෙක් බවයි.  මේ විදියට තමයි දේවදත්ත හිමියන් පවා බුදු දහමෙන් පිරිස වෙන් කරගත්තේ.  නිර්මාංශ වීම... අල්පේච්ඡ ස්වභාවයක් පෙන්වීම... සංවරත්වයක් මවා පෑම... දැහැන් ආදියට සමවැදිය හැකි බව පෙන්වීම... ඒවා තුලින් ලබාගත් යම් යම් ශක්තීන් තුලින් බුදු දහම සත්‍යයයි පෙන්වීමට උත්සාහ කිරීම... විවිධාකාර වත් පිළිවෙත් බහුලයි.

ඉතින් කෙනෙක් දැන දැනම මෙසේ ආධ්‍යාත්මික හොරකමේ යෙදෙනවා වෙන්නට පුළුවන්... තවත් කෙනෙක් නොදැනුවත්ව.  ඒ කෙසේ වෙතත් නිවැරදිව නිවනක් සොයන කෙනෙක්ට විතරක් නෙවේ ලෞකිකව දියුණුව බලාපොරොත්තුවේ හෝ වේවා යම් යම් ආධ්‍යාත්මික යැයි පවසන පිරිස් ඇසුරු කරන විට විමර්ශණශීලි නුවණකින් යුතුව ප්‍රඥාවන්තව හරි වැරැද්ද තෝරාගෙන ඒ ඒ පුද්ගල සරණ නොගොස් නිකරුණේ ආධ්‍යාත්මික ගොදුරක් බවට පත්නොවෙන්නට කටයුතු සලසා ගැනීම ප්‍රඥාවන්ත ඔබට භාරයි!!!

සැබෑම ආධ්‍යාත්මික දියුණුවක් ලබමින්... නිවන් මඟත් සත්පුරුෂ මඟ් සරු කරගන්නට ඔබ සැමටම හැකිවෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා