අල්ලට හසු නොවුනු සතා දුටුවාද?

ඔක්තෝබර් 2019 කතු වැකිය

අල්ලට හසු නොවුනු සතා දුටුවාද?

සටහනේ අන්තර්ගතය

පෙර කතු වැකිය තුලින් අන්ධ පිරිසක් ඇතෙකු විස්තර කල හැටි උපමාවට ගෙන දහම් පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් මුල්කරගෙන යමක් විස්තර කරගන්නට ආරම්භ කලා මතකයි නේද? මෙවර කතු වැකියෙන් ඒ දහම් විග්‍රහ තුල සැඟවුණු අරුත මතු කරගන්නට උත්සාහ කරමු. මන්ද එය දහම් මඟ යන පිරිසට පමණක් නොවේ, සෑම කෙනෙකුටම එදිනෙදා කටයුතු වලදීද ඉතාමත්ම වැදගත් වෙනවා.

ධර්මය සම්බන්ධයෙන් හෝ වේවා... ආගම්, ජාති ආදිය සම්බන්ධයෙන් හෝ වේවා...  දේශපාලනික හෝ වේවා... සාමාන්‍ය කටයුතු වලදී හෝ වේවා මේ අන්ධ පිරිස ඇතාව විග්‍රහ කලා සේ හැසිරීමක් අප බොහෝ දෙනෙකු තුල දක්නට තියෙනවා.  මේ සෑම මාතෘකාවකදීම අප අප සිටින මතය, අදහස, තමන්ගේ දෘෂ්ඨි කෝණයෙන් මැනගත්ත දේම නිවැරදිම අදහස බව මතු කරන්නට... අන් අයට ඒ මතය දරන්නට බලකරන තත්වයටම වාද විවාද තර්කයන් ගෙන හැර පානවා. 

එහෙත් අපට මෙතනදී මඟ හැරෙන කාරණය තමයි පුංචි අත්ලකට සම්පූර්ණ සතාව හසුනොවන බව.  අන්ධ පිරිස ඇතාව අත්ලෙන් ස්පර්ශ කලා.  ඒ අල්ලක ප්‍රමාණයට හසුවූ දෙයින් ඔවුන් සම්පූර්ණ ඇතාවම මැනගත්තා.  ඒ ගත්ත තීරණය නිවැරදියි කියලා වාද විවාද තර්ණයන්ට බැසගත්තා.  සම්පූර්ණ සිද්ධියම මහා පුස්සක් නේද?

ඒ අන්ධ පිරිසට ඒ අවස්ථාවේදී දැනුනේ තමන් ඉන්න මතය නිවැරදිම මතය බවයි.  එහි කිසිඳු අඩුපාඩුවක් තිබෙන්නට හැකි බව ඔවුන්ට මොහොතකටවත් සිතුනේ නෑ.  අපි නිකමට හිතමුකෝ එහෙම ඒ අයට තමන් වැරදි වෙන්නට හැකියි කියලා සිතලා ඔවුන් සෑම දෙනාගේම අදහස් එකට එකතු කරලා ඒ ඒ අන්ධ අයට දැනුන ඇතා අනුව ඇතෙක් නිර්මාණය කලා කියලා... කොහොමට තියෙයිද? මේ කතාවේ බොහෝ දෙනෙක් එකවර නොදකින, සැඟව ගිය අපූරු එක් අදහසක් ලෙසින් මෙයද ගත හැකි බවයි මට හැඟෙන්නේ.

ටිකක් සිතන්න... මේ අන්ධ පිරිස එකට එකතු වෙලා... අපි තර්ක වාද කරගන්න හොඳ නෑ... අපි අපට දැනුන දේ එකට බෙදාගෙන ඒවා තුලින් අපි හැමෝටම එකඟ විය හැකි අදහසක් හදාගමු.  ඉන්පසුව ඒ තුලින් ඇතාව දකිමු ලෙසින් තීරණයක් ගතහොත් කෙසේ වෙයිද?  ඇතා දකියිද? නැතිනම් නැවතත් තම තම මතයට අනුවම නිර්මාණය වූ ඇතෙක්ම දකියිද?

මේ කතාවේ හැටියට අන්ධ පිරිස ඇතා මෙසේයි ඇතා මෙසේයි ලෙසින් විවිධ භාණ්ඩ ගෙන හැර පෑවා... ඒත් ඒ භාණ්ඩ ඔවුන් කවදාවත් දැක තිබුණ දේවල්ද?  එසේ නම් එතැනදීත් ඔවුන් ඒ භාණ්ඩ ගැන ගෙන ඇති අදහසත් ඇතා ගැන විග්‍රහ කරගත්ත සේම නොවේද?  මෙසේ එකතු වූ දත්තයන්ගෙන් ඇතෙකු දැකීම සිදුවිය හැකි දෙයක් යැයි ඔබට සිතෙනවාද?

ධර්මයේදී හෝ වේවා අනෙක් ඕනෑම අවස්ථාවකදී වචන පද ගොඩකට ඇහුම්කම්දීම කවදාවත් ප්‍රමාණවත් වෙන්නේ නෑ.  ඒත් අපි වැඩිපුරම කරන්නේ මේ දේමයි... පෙනෙන ඇහෙන දැනෙන විඳින දේට අනුවම ලැබෙන දත්ත තුලින් අප යථාර්ථය තීරණය කරනවා.  ඒ ඇත්ත ලෙසින් විශ්වාස කරගත්ත දේ මත පිහිටමින් තර්ක වාද කරගන්නවා.  

අපේ ජීවිත තුලත් සිදුවන්නේ මේ දේමයි.  තම තම මතය ප්‍රමුඛ කරගන්නට වාද විවාද කරන කාලය මේ වරද සිදුවන නියම තැන අවබෝධ කරගන්නට යොදාගන්නවා නම් අපට වරදින්නේ නෑ. 

මේ වරද සිදුවන තැන කොතනද? ඒ අන්ධ අය නොදැක්ක... වරදක් වූ බව නොසෙවූ නොදුටු තැන කොතැනද?  අන්ධ බවමයි.  ඔවුන්ට අමතක වුනා ඔවුන් අන්ධ බව.  ඔවුන්ට අන්ධ බව කියන්නේ සාමාන්‍ය තත්වයක් නිසාම ඔවුන්ට වරද වන්නේ එතැන බව හඳුනාගන්නට අදක්ෂ වුණා.  මඟ හැරුණා.  ඇත්තටම ඇතා දැකගන්නට නම් ඔවුන් තම තමන්ගේ අන්ධභාවය නිවැරදි කරගත යුතු බවත් එසේ නොවන තාක් තමන්ට ඇතා දැකගන්නට නොහැකි බවත් රජුට පවසන්නට තරම් ඥාණයක් ඒ අන්ධ අයට තිබුනේ නෑ.  එයට හේතුව තමන් තුල ඇති ඒ ආබාධය හඳුනාගන්නට යොමු වුනේ නැති නිසාමයි.

දැන් ප්‍රඥාවන්තව විමසන්න... අපද දැක්ම නිවැරදි කරගන්නවා වෙනුවට... යථාර්ථය දැකිය යුතු ඇස පහළ කරගන්නවා වෙනුවට පිස්සුවෙන් වගේ තම තමන් ඉන්න මතය නිවැරදි යැයි ඉස්මතු කරන්නට තර්ක වාද කරගන්නවා.  සමහර අවස්ථා වලදී පොදු මතයකට එකඟ වෙනවා... එකඟ විය හැකි මතයක් සම්මත කරගන්නවා... බොහෝ අවස්ථා වලදී රණ්ඩු වෙනවා.  මේ සියල්ලම කුමන පදනමක් මතද?  ඔව්... ඇත්ත යැයි උපකල්පනය කල උපකල්පනයන් රැසක සිටමයි.  උපකල්පන තුල ජීවත් වෙනවා කියන්නේ අවුල් වෙන එක අහන්නත් දෙයක්ද?

එසේ නම් පෙනීම ලබා ගත යුතු වෙනවා... එවිටයි නිවැරදි දැක්ම ඇතිවෙන්නේ... එතෙක් උපකල්පන මත පිහිටාගෙන මුළු දිවියම අවුලෙන් අවුලට පත්කරගන්නා අන්ධයෙකු නොවන්නට සිහියෙන් ඉන්න!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා