නිවෙන්නට උපකාර වන මල් පූජාව

නිවෙන්නට උපකාර වන මල් පූජාව

පෙර කොටස් තුලින් කෙටියෙන් නමුත් මල් පූජාවෙන් විවිධාකාර අන්දමින් සිත සකස් කරන ආකාරය විමසා බැලුවානේ.  ඉතින් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු අර්ථ දක්වා විමසූ අප මේ කොටස තුලින් පෙර නොඇසූ විරූ දහම් විදසුනට ලක්වෙමින් සිදුකරන මල් පූජාව සීලය නැඟෙන්නට උපකාර වන්නේ කෙසේදැයි විමසා බලන්නට යොමුවෙමු.

“චක්ඛුංච පටිච්ඡ රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං“  කියන්නාවූ ගැඹුරු ධර්ම කොටස මේ මලින් උපමා කර අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙනවා.  ක්ෂණයකට මොහොතකට ඇසක් (කණ, නාසය, දිව, කය, මන ආදියටද එසේමයි) නිර්මාණය වන්නේ ලස්සන මලක් වගේ... ඒ ඇසට රූප ආකර්ශණය වුනේ මලට රොන් සොයා පැමිණි බඹරුන් වගේ... ඒ ඇස නමැති මලත් රූප නැමැති බඹරා යන දෙදෙනාගේ එකතුව තුලින් පරාගනය වී සකස් වුනේ චක්ඛු විඤ්ඤාණය නැමැති මායාවමයි.  ඒ මායාව එසේ මෙසේ එකක් නොවේ.  ඒ මායව තුල සකස් වුනේ භවය නමැති භයානක තත්වය ගෙන දෙන බීජයමයි.  මේ මායාව සකසා... භව බීජය සකසා ඇස නැමැති මල පරවෙනවා... විනාශ වෙනවා...ඒත් සමඟම එයට ඇඳුන රූපය නමැති බඹරාද විනාශ වෙනවා.  ඒත් ඒ දෙදෙනාගේ එකතුවෙන් සකස්වූ මායාව පැවැත්මක් පිණිස බීජයක් සකසන්නට යෙදුනා. 

එසේනම් දැන් මල් කඩා දමන්නට කාලයයි.  පරාගනය කරමින් පැවැත්මක් සකසමින් අසංවරව යන්නාවූ මේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ මල් කඩා බිඳ දමන්නට දැන් කාලයයි.  ඒ මල් කඩා නොදැමුවොත් සිල් බිඳෙන්නේ ඔබේමයි.  සීලයෙන් තොරව කෙසේ නම් සැනසීමක් සහනයක් සතුටක් ලබන්නද?  එසේ නම් මේ මල් කඩා බිඳ දමා ඒවාට ඇඳෙන රූප ශබ්ධ ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නාවූ බඹරුන්ද පන්නා දමන්නට අර්ථවත්ව ගැඹුරු දහම් නුවණින් දැකගන්නට අදිටන් කරගත යුතුයි.  භව බීජය නසන්නට මේ මල් කඩා දමන්නට උපකාර කලේ ඒ උතුම් තෙරුවණමයි.  ඒ තෙරුවණට නැමී මේ මල් කඩන විට සිත තුල නැඟී එන්නේ සීලයක්මයි.  අර්ථවත්ව ධර්මාවබෝධයෙන් යුතුව සිත් තුල සැබෑ ප්‍ර‍ඥාවෙන් යුතු සීලය මෙසේ මතු කරගන්නට තම තමන්ටම පොරොන්දු වෙමින් මල් පූජාවන් කරන්නේ නම් ඔබගේ මෙලොව පරලොව දිවිය සරු වී නිවී සැනසීමටම පත්වීමටද එය උපකාරයක් කුසලයක් වනු නොඅනුමානයි!

මේ දහම් කොටස ගැඹුරින් විමසන්නට උපකාර වන රූපමය සදහම් විග්‍රහය ඇසුරු කරන්න! "ගහක වැලක පිපෙන මලක්" දහම් ගුරුවරයෙක් බවට පත්කරගෙන නිවන් මඟ මතු කරගනිමු!