අන් අය නොදකින සසුනේ මෛත්‍රිය

මේ බුද්ධ ශාසනයට උරුම නිවන කරා යොමුවූ මෛත්‍රිය හුදෙක් අන් අයට ලෞකික යහපත ලබා දීමක් තුල ගැබ්වූවක් නොවේ.  එය නිවන මුල් කරගත්ත... නිවීම අවසානය කොටගත් පැවැත්ම නැවැත්වීම පිණිස වූ ලෝකෝත්තර චිත්තයකි. 

බුදු හිමියන්ගේ කාලයේත් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපෙක්ෂාව කියන්නාවූ මෙම වචනම ගෙන වර්ථමානයේද ප්‍රකට අරුතින් මෙත් කරුණා මුදිතා උපෙක්ෂාවන් වැඩුවා.  ඒ වගේ අවස්ථා වලදී බුදු හිමියන් මෙන්න මෙහෙමයි ඒ අදහසේ සහ බුද්ධ ශාසනයේ බුදු කෙනෙකුන් පෙන්වා දෙන මේ දේවල් වල අදහසයි වෙනස් වෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. 

ඉතින් බුදු හිමියන් මෙන්න මෙහෙම පවසනවා... කෙනෙක් කිව්වොත් මමත් මෛත්‍රිය වඩනවා කියලා... මෙන්න මෙහෙම අහන්න කියලා කියනවා.

“කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද?“

මෙන්න මේ විදියට පවසා උන්වහන්සේ පෙන්වා දෙනවා;

“මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.“

ඉතින් දැන් නම් පොතින් පතින් කියවා ඔබ කියාවි නිවන අරමුණු කරලානේ තියෙන්නේ... ඒකනේ අපි වඩන්නේ ආදී වශයෙන්.  මෙයින් අදහස් කරන්නේ දැනුමෙන් පවසන දෙයක් සම්බන්ධයෙන් නොවේ. 

තමන්ගේ චිත්තය නිසි ආකාරයෙන් මේ කියන ආකාරයේ මෛත්‍රිය ක්‍රියාත්මක වෙනවා නම්  එය සැබෑම අරිය ගුණයෙන් යුතු මෛත්‍රියක් වී ඇති නම් එය තුල මේ කියන දේ ගැබ්වෙනවා කියන අදහසයි පෙන්වා දෙන්නේ. 

තවදුරටත් මේ සූත්‍ර දේශනාව ඔස්සේම මේ ප්‍රශ්ණ වලට පිලිතුරු  මොනවාදැයි විමසා බලමු.  ඔබගේ සිත සැබෑ මෛත්‍රියට යොමු වෙලාද නැත්ද යන්න දැනගන්නට එවිට ඔබට පුළුවන්!