භව රෝගයෙන් මිදීමට ඖෂධ පූජාවෝ

භව රෝගයෙන් මිදීමට ඖෂධ පූජාවෝ

මේ උතුම් බුද්ධ ශාසනය තුල නීරෝගී බව යනු රාග රෝගයෙන් ද්වේශ රෝගයෙන් මෝහ රෝගයෙන් මිදී නිවනින්ම සුවපත් වී ලබන උතුම් නීරෝගීභාවයමයි.  ඒ නීරෝගීබව ලැබගැන්ම පිණිස උතුම් ශ්‍රී සත්ධර්ම රත්නය නම්වූ මහා දුර්ලභ ඖෂධය දුන්නේ අප මහා වෙදැදුරාණන්වහන්සේ වන උත්තරීතර බුදු පියාණන්වහන්සේමයි. 

එහෙත් අප කුමක් නම් කරන්නෙමුද? නුවණින් විමසන්න...

ඔබට දරුණු රෝගාබාධයක් හැදුනහොත් ඒ රෝගාබාධය සුවකරගන්නට ඔබ ඉතාමත් උනන්දුවෙන් උත්සාහවන්ත වෙනවා නේද?  උදාහරණයකට කොලොස්ටරෝල් වැනි තත්වයන් මඟ හරවා ගන්නට හෘද ආබාධයන් වැනි තත්වයන් මඟ හරවාගන්නට ඔබ දුවන්නේ නැතිද?  ව්‍යායාම වශයෙන් දුවනවා... වෛද්‍යවරුන් පසුපස දුවනවා... අදාල කෑම බීම පසුපස දුවනවා... බෙහෙත් වර්ග පසුපස දුවනවා... බෙහෙත් ක‍්‍රම පසුපස දුවනවා... ඒවාට සම්බන්ධ ලිපි ලේඛන පොත පත කියවා ඒවා ගැන දැනුවත් වෙන්නට දුවනවා... ඔය හැමදේම වෙනුවෙන් මුදල් එක්රැුස් කරමින් වැය කරමින් දුවනවා... ආතතිය නැති කරගන්නට භාවනා කරන්නට පවා දුවනවානේ නේද?  ඉතින් මේ ආකාරයෙන් කොතරම් දුවනවාද නේද?

කොතරම් දිව්වත් ඔබට මේ රෝගබාධයෙන් මිදීමක් නැති බව ඔබට දැනගන්නට ලැබෙනවා.  ඔබ දැන් මියයන්නට ලඟ බව දැනගන්නට ලැබෙනවා.  එවන් වූ මොහොතක ප්‍රවීණ වෛද්‍යවරයෙක් ඔබට පවසනවා “මම මේ දරුණු රෝගාබාධය සුවකරදෙන්නම්... හැබැයි ඔබ ඔය කාර්යබහුල වැඩපිළිවෙලින් මාසයකට පමණ ඉවත් වෙලා වනගත වෙලා මම කියන ගස් වල පොතු වර්ග මල් වර්ග ඵල ආදිය කමින් මම කියන ආකාරයෙන් ජීවත් වෙන්නට ඔබට සිද්ධ වෙනවා... ඔබ එයට කැමති නම් මට පුළුවන් අනිවාර්යෙන්ම ඔබව සුව කරන්නට...“

ඔබේ පිළිතුර කුමක් වේවිද?  රැකියාවෙන් නිවාඩුවක් හෝ ගෙන මේ තත්වයට පත්වෙන්නට කැමති වෙන්නේ නැතිද?  දරුවන්ගේ, දෙමව්පියන්ගේ, මුණුබුරු මිණිබිරියන්ගේ, සහකාර කාරියන්ගේ, රැකියාමය හෝ වෙනත්  ඕනෑම වැඩකටයුත්තක් නවතා දමා මේ ප්‍රතිකර්මය කරගන්නට ඔබ යම් යම් උපක්‍රම සකසා ගන්නේම නැතිද?

මාස ගණන් වෙද මැදුරු වල නතර වී, වෛද්‍යවරයා කියන්නාවූ කෑම වට්ටෝරුව කොතරම් නීරස වුවත් අපහසුවෙන් වුවත් කනවා නේද?  නිවාඩු දමාගෙන පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙලා වෛද්‍යවරුන් හමුවෙලා වෛද්‍ය සායන වලට සම්බන්ධ වෙලා පැය ගණන් නොකා නොබී ලේ වල තත්වය දැනගන්නට  ඕන නිසා බොහෝම වීර්යයකින් යුතුව කටයුතු යොදනවා නේද?  වෙදකම් කරන තැන් වලට මහා පාන්දර ගිහින් නිදිවරාගෙන බංකු ලෑල්ලක් මත හෝ හිඳගෙන අඟුපිලක හෝ ලැගගෙන පෝලිමේ ඉන්නවා නේද? කොතරම් මුදල් ප්‍රමාණයක් වුවත් වියදම් කරනවා නේද?  කොතරම් අපහසු වුවත් කාලය කෙසේ හෝ සොයාගෙන ව්‍යායායාම් ආදිය කරනවා නේද?  කොතරම් අපහසු වුවත් යාන වාහන සපයාගෙන හෝ වේවා පොදු වාහන සේවයේ හෝ ගමන් කරනවා නේද?  වෛද්‍යවරයන් කියන දේ ඇස් පියාගෙන වුවත් විශ්වාස කරන තරමේ විශ්වාසයක් ඔවුන්ව ඇදහීමක් ඔබට තියෙනවා නේද?  තණ කොළ වර්ගයක් වුවත් තමන්ගේ රෝගය සුවවෙනවා කිව්වොත් ආහාරයට ගන්නා තරමටම ඔබ අසරණ වෙනවා නේද?

අනේ, මේ දේවල් කලේම මරණය මොහොතකට කල් දමාගන්නට පමණක්ම මිස මරණයෙන් සඳහටම මිදෙන්නට නම් නොවන බව ඔබට මොහොතකටවත් සිහිපත්වුනේම නැතිද?

සඳහටම මරණයෙන් මිදෙන්නට සඳහටම සියලූම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට මේ ජීවිත කාලයේදීම අවශ්‍ය කරන්නාවූ නිවන් මාර්ගය පාදා දෙනවා යැයි පවසන හිමිනමක් හමුවී ඒ මාර්ගය පාදාගන්නට සිතක්වත් පහල නොවන ඔබට, ඒ වෙනුවෙන් කාලය සපයාගන්නට ඉතාමත් අපහසු ඔබට ඒ වෙනුවෙන් කැපවෙන්නට අලසකමක් දැනෙන ඔබට... අනේ, ඒ හිමිනමම ඔබගේ නොයෙක් නොයෙක් කායික රෝගී තත්වයන් සුවපත් කරගැනීමට බෙහෙත් කරනවා කිව්වොත්?  බෙහෙත් කරගන්නා මාර්ගයක් පාදා දෙනවා කිව්වොත්?  භාවනා බලයෙන් ඔබව සුවපත් කරනවා කිව්වොත්?  ඔබ ඔබටම පිළිතුරු දෙන්න!

ඉතින් විමසන්න, අති දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා ඇති ඔබට ඔය මිනිස් ජීවිතය පාවිච්චි කරලා කරන්නට තියෙන්නේ ඔය හෙම්බත්වීම පමණක්මද?  ඔබ ඔතරම් කාලයක් වෙහෙස වෙලා දුවලා දුවලා රෝගය සුවකරගත්තද... ඔබ සිතන පරිදි මරණය කල්දමා ගත්තද... ඔබට ඇත්තටම මරණය කල්ගියාදැයි නුවණින් විමසන්න.   රෝගය සුවවෙලා ගෙදරට එන ඔබ වාහනයකට හැපුනොත්? සතෙක් සර්පයෙක් කෑවොත්? රෝහලම හෝ වෙද ගෙදරම ඔබගේ හිසට කඩාගෙන වැටුනොත්? මැරෙන්න කොතරම් ආකාර තියෙනවද?  ඔබ ඔය හැමදෙයකින්ම බේරී ප‍්‍රායෝගිකව මරණය කල් දමාගන්නේ කොහොමද?

ඉතින් ප්‍රඥාවන්තවන්න!  මරණය මොහොතකට කල්දමාගන්නට ඔතරම් උත්සාහයක් ගෙන හතිදමාගෙන දුවනා ඔබ, සඳහටම මරණයෙන් මිදෙන්නට හැකි, සඳහටම සියලූම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට හැකි, මේ ජීවිත කාලයේදීම ඒ ප්‍රතිඵලයන් අත්දැකිය හැකි ඒ නිවන් මාර්ගය පූර්ණය කරගන්නට කොතරම් කැපවී සිටීදැයි නුවණින් විමසා බලන්න!

“ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගී බවම උතුම් ලාභයයි“ ලෙසින් සත්ධර්මය තුල පෙන්වා දුන්නේ මේ භයානක සංසාර පැවැත්ම නමැති භව රෝගයෙන් නීරෝගී බවටම පත්වීම උතුම් ලාභය හෙවත් නිවීම ලැබීමයි.  එයින් අදහස් කලේ තාවකාලිකව කායික රෝග සමූහයකින් ඔබ සුවයක් ලබා ලබන්නාවූ ලාභයක් ගැන නොවේ. 

ඉතින් මේ උතුම් ධර්මය නම් වූ ඖෂධය ලැබගැනීමට අදිටන් කරගන්න.  ඒ උතුම් මහා වෙදැදුරාණන්ට රෝගය සුවපත් කරගන්නට කැපවීම තුලින්ම කෘතෝපහාර දක්වන්න.

තාවකාලිකව කායික රෝගයන් සුවපත් කරගන්නට කැපවන කැපවීම සදාකාලිකවම සියලූ කායික මානසික රෝගයන්ගේ සුවපත්භාවය ලැබිය හැකි නිවීම උදෙසා යොදන බව අදිටන් කරගන්න.  ඒ අදිටනින් යුතුව කායික රෝගයන්ගේ සුවපත් භාවය පිණිස ඔබ මෙතෙක් කාලයක් රැස් කලාවූ විවිධාකාර ඖෂධයන් තෙරුවණට පූජා කරමින් අතහැර දමන්න!  එය මහා ප්‍රබල අතහැරීමක් බව අමතක නොකරන්න!

මන්ද අර්ථයෙන් ධර්මයෙන් ප්‍රඥාවෙන් දියුණුවට පත්වන තෙරුවණේ ගුණයන්ට නැමී කටයුතු කරන්නාවූ ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට සම්මා සම්බුද්ධ රත්නය නම්වූ වෙදැදුරණාන්ට වඩා... සත්ධර්ම රත්නය නම්වූ ඖෂධයට වඩා... සංඝරත්නය නම් වූ සුවපත්වීමට වඩා... උසස් වූ ඖෂධයක් තුන් ලොව කොතැනකවත් නොවන නිසාවෙනි.  එය අතහැරීම තුලින් ඔබ අවබෝධ කරගත්තේද ඒ වැදගත්කමම නිසාවෙනි!

මොහොතකට හෝ කායික සුවපත්භාවයක් පතමින් ලබමින් සසර පැවැත්ම තුල කටයුතු කරගැනීම කොතරම් අනුවණකමක්දැයි නුවණින් දැන හඳුනාගෙන ප්‍රඥාවන්තව අතහැරීමෙන් යුතුව කටයුතු කරන සැබෑ ආර්ය ශ්‍රාවකයෙක්වන්නට අදිටන් කරගන්න. 

එවන් වූ අවබෝධයකින් යුතුව තමන්ද සියලූ ලෝ සතද භව රෝගයන්ගෙන් නිරෝගී වෙත්වා!!! තෙරුවන් සරණින් නිවනින්ම සුවපත්වෙත්වා!!! යන උතුම් අදහස් ඇතිව ඖෂධ පූජාවන්ගේ නිරතවීම ඔබගේ මෙලොව පරලොව දිවිය සරුවී නිවී සැනසීමටම පත්වීමටද එය උපකාරයක් කුසලයක් වනු නොඅනුමානයි!

භව රෝගයෙන් සුවපත්වීම පිණිස ලැබූ උතුම් සූවිසි ගුණයන් නම් වූ මහා ඖෂධය සංකේතවත් කරමින් ලෝකයේ කායික රෝග සමනය කරන්නාවූ ඖෂධ බොහෝමයකින් සැකසූ ඖෂධ වට්ටි 24ක පූජාවන්ගෙන් සමන්විත ඖෂධ පූජාවන් සිදුකරමින් ප්‍රඥාවන්තව විදසුන් වඩමින් නිවනින්ම සුවපත් වෙන්නට අදිටන් කරගනිමු.

මෙවන් අරුත් දැන දහම දැන ඒ උත්තරීතර තෙරුවණට නැමී කෘතෝපහාරයන් ලෙසින් ඖෂධ පූජා කරමි!  පූජා කරමි!  පූජා කරමි! පූජාම වේවා!  පූජාම වේවා!  පූජාම වේවා!