සැබෑ අරමුණ හඳුනාගන්න!
04 මැයි 2012
බුදු දහම විමසන්නට මත්තෙන් සෑම කෙනෙක් තුලම මතුවිය යුතු ප්‍රකට විය යුතු ගුණයන් කිහිපයක් විමසන්නට මෙම කොටස වෙන් කරන්නේ එය ඉතාමත් අත්‍යවශ්‍ය වූ කරුණක් නිසාමයි. ඒ අතුරිනුත් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු තේරුම් ගත යුතු කරුණු 2ක් ප්‍රධාන වශයෙන්ම විමසන්නට මෙම කොටස වෙන් වෙනවා.
පළමුවෙන්ම ඔබ විසින් “ඔබගේ අරමුණ හඳුනාගත යුතුයි“. දෙවැන්න නිවැරදිව පිරිසිදුව “ශ්‍රවණය කිරීමයි“.
බුදු දහම ඔබගේ ජීවිතයට ලං කරගැනීමට ප්‍රධානතම හේතුව එසේත් නැතිනම් අරමුණ කුමක්ද? ඔබ බුදු දහම සම්බන්ධයෙන් උනන්දු වන්නේ ඇයි? ඔබගේ සැබෑ අරමුණ කුමක්ද? මේ දැන්ම ඔබ විසින් ඔබගෙන් විමසිය යුතුමයි.
උපාධියක් ලබාගැනීමටද? පොතක් ලියන්නටද? භාවනාව ඉගෙන ගන්නටද? එසේත් නැතිනම් බුදු දහම යනු කුමක්දැයි ඉගෙන ගැනීමේ පරමාර්ථය පමණයිද? බුදුහිමියන් ගැන දැනගැනීමට තිබෙන ආසාවක්ද? එහෙමත් නැතිනම් වෙනත් ආගම් දහම් සමඟ සන්සන්දනය කරමින් වඩාත් හොඳ කුමක්දැයි විමසා බලන්නටද? එහෙමත් නැතිනම් ඉතින් උපතින්ම බෞද්ධ නිසා සොයා බලන්නට හිතුණද? නැතිනම් බුදු දහම දන්න කියන ඒ ගැන කතා කරන ඒ ගැන දැනුවත් පිරිසට ඇති පිළිගැනීම ප්‍රශංසා නිසා ඒ වෙත යොමු වෙනවද? ඇත්තටම අරමුණ කුමක්ද?
මේ වගේ කරුණු වලින් එකක් නම් හෝ මේවාට සමාන කරුණක් නිසානම් ඔබ බුදු දහම පිළිබඳව විමර්ශණය කරන්නේ ඔබට ලැබෙන දහමක් නම් නැතිවේවි.
මාතෘකා කිහිපයක් යටතේ ඒ ඇයිදැයි යන්න විමසා දැනගනිමු!