රූපය මතම යැපීම

  16 පෙබරවාරි 2017

ඒත් ඔබ කුමක්ද දකින්නේ?  ඔබ කුමක්ද කරන්නේ?

රූපය මතම යැපී... රූපයෙන්ම යැපී... රූපයේම මම පවත්වමින්... මම රූපයේම පවත්වමින්... රූපය තුලම හිඳිමින්... රූපය නසන්නට මුලා උත්සාහයක වෙහෙස වෙනවා... පැවැත්මේ කොතනක හෝ රැඳී එතැන මොහොතකට හෝ සුවයක් සැපයක්ම දකිමින් පැවැත්ම ඉබේ නැසේවි යැයි මුලා සහගත සිතක් පවත්වනවා...

අනේ අනතුර දැකගන්න!

පංච අභිඥා... අෂ්ඨ සමාපත්ති දෙව්දත් තෙරුන්ටද තිබූ බව සිහියෙන් සිහිපත් කරගන්න... හිස් වැඩපිලිවෙලකම ඉන්නා පැවැත්ම ගැන අංශු මාත්‍රයක්වත් නොදකින පෘතග්ජනයෙකුට වුවත් ලැබිය හැකි රූප අරූප දැහැන් මත තම දිවිය කැප නොකට, පැවැත්ම නවත්වන ඔය සියලු සුවයන් ඉක්මවා ගිය නිවන් සුවය අත්දැකගන්නට උත්සූක වන්න!!!

ඒ දහම් ඇස පහල වූ තැන්පටන්ගෙන බුදු හිමියන් පෙන්වූ ඒ උතුම් පෙර නොඇසූ විරූ දහම් ප්‍රත්‍යක්ෂ වන විට...

මේ කියන රූප අරූප දැහැන් ආයාසයකින් තොරවම නැගී එනවා... ඒත් ඒ දැහැන් වශයෙන් හෝ සකස් වෙන සියලු රූපයන්ගේ අනිච්ච දුක්ඛ අනත්ථ බව අවබෝධයෙන්ම ප්‍රඥාවෙන්ම නැඟී එන නිසාම ඒ ඒ රූප තුල හා වෙන්නේ නැතිව යනවා... මේ රූප අරූප තණ්හාව සකස් නොවී පවතිනවා... ඒ නිසාම ඒ යම් දැහැනක් ආයාසයකින් තොරව නැඟී එන විට ඒ ඒ පැවැත්ම තුල හිර නොවී ඒ පැවැත්මේද යථාභූත ඥාන දර්ශනය පහල වෙනවා... සම්මා සමාධිය තුල විමුක්තිය පිණිස පරිසරය සකස්වන්නේ එලෙසින්මයි... අභිඥා බලයන් ලෙසින් යම් මැජික් ඵලයක් ලැබේ නම් ඒ රූපයේද ඇත්ත පිරි සිඳ දැක තිබෙනවා... ඒ නිසාම ඒ මත යැපෙන්නෙක් නොවී ඒ මත නොපිහිටා ඒවා පරිහරණය කිරීමේ හැකියාවද ලැබෙනවා...

චිත්‍රපටියක් වගේ බොරුවක්ම විනා මේ කිසිවක සත්‍යතාවයක් නොමැති බවම අවබෝධ වෙනවා... බුදු හිමියන් මේ සියලු දෑට චලන රූ ලෙසින් පෙන්වූයේ චලන චිත්‍රය හෙවත් චිත්‍ර පටයක සිද්ධ වන සිද්ධියමයි... ඉතින් බොරුවක යැපෙන්නට ගියහොත් කුමක් වෙයිද? චිත්‍රපටයක ඇත්තක්මයි කියන සංඥාව නැගෙන්නට පටන්ගතහොත් කුමක් වෙයිද?

ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට දෙව්දත් හිමියන්ගේ දහම ඔස්සේ ගොස් අමුතුවෙන් පැවැත්ම සකසන රූප අරූප දැහැන් වඩන මඟක් නොවන්නේමය... බුදු හිමියන්ගේ දහම තුල ඔය සියලු අත්දැකීම් ආයාසයකින් තොරවම ලැබිය හැක්කේමය... අපූර්වත්වය කියන්නේ ඔවුනට ඒවායේ වටිනාකමක්ද නොපිහිටන්නේමය... ඒවා මොහොතකටවත් වර්ණනාද නොකරන්නේමය...

නිවනේ සුවය මොහොතක හෝ අත්දැක්කේ නම් කිසිවෙකුත් මේ පැවැත්ම තුල පවතින රූප ස්කන්ධයෙන්ම සැකසුන, වේදනා ස්කන්ධයෙන්ම සැකසුන, සංඥා ස්කන්ධයෙන්ම සැකසුන, සංකාර ස්කන්ධයෙන්ම සැකසුන, විඤ්ඤාණ ස්කන්ධයෙන්ම සැකසුන පැවැත්මේ විවිධාකාර භවයන්ට... රාගයන්ට... හසුනොවේවි...

නිවන යැයි නොදැක්ක සුවයක් කොයි මොහොතේ හෝ ලැබේවි යැයි පැවැත්ම තුලම නොසොයාවි... දත්තයන් ඔස්සේ නිවන යැයි හඳුනාගන්නා කුමක්දෝ නිවනකට නිවන යැයි රැවටී පැවැත්මේම විවිධාකාර අවස්ථාවන්ට නොරැවටේවි...

අන්න ඒ සෑබෑ නිවන අත්දැකගන්නට සත්ධර්මය ශ්‍රවණයට පරිසරය තම තමන් තුල ලබාදෙන්න.  එක එක පුද්ගලත්වයන්ට කොටු නොවී විවෘත වන්න... අසාගන්නා දේ ප්‍රඥාවන්තව විමසන්න...