මහල්ලෙක් - පළමු නිමිත්ත

මහල්ලෙක් - පළමු නිමිත්ත

සතර පෙර නිමිති ලෙසින් හඳුන්වන  කාරණා තුල “මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්, පැවිදි රුවක්” හි, “මහල්ලෙක් හෙවත් මහළු බව” කියන පළමු නිමිත්ත ඔබ විසින් විනිවිද දැකිය යුතුයි.  “මහල්ලා” තුලින් ඔබ ද මහල්ලෙක් බව විනිවිද දැකිය යුතුයි.  බොහෝ අවස්ථා වල දී තරුණ වයසේ සිටින පුද්ගලයින් මහලු පුද්ගලයන් දුටු විට ඔවුන්ට හිනා වෙනවා, අපහාස කරනවා, උපහාසයට ගන්නවා.  සමහර පුද්ගලයන් මහලු පිරිසට අනුකම්පා කරනවා, සමහරු ඉතාමත් ආදරයෙන් සෙනෙහසකින් යුතුව කටයුතු කරනවා. සමහරු පිළිකුල් කරනවා.  සමහරුන්ට නම් හරිම වදයක් සේ දැනෙනවා.  සමහරු මේ මහළු බවට බියයි.  ඒ නිසාම මහල්ලන් ව මඟ හරිනවා.  ඉතින් මේ ආකාරයෙන් විවිධ ප්‍රතිචාර දක්වන්නේ බාහිරයෙන් “මහල්ලා” දකිනවා මිස තමන්ගේ මහළු බව විනිවිද දැක නැති නිසාමයි. 

ඉතින් එහෙනම්, මොකක්ද මේ “මහළු බව” කියන්නේ?  ඇත්තෙන් ම ඉපදුන මොහොතේ පටන් ගෙන අප වයසට යනවා නේද?  නමුත් සාමාන්‍යයෙන් කරන්නේ අපි අපේ ජීවිතයේ බාහිරයෙන් දකින්නට ලැබෙන ස්වභාවයන් අනුව බෙදා දක්වනවා.  තරුණ අවදිය, මැදි විය සහ මහළු විය ලෙසින් බෙදා ගන්නවා.  මේ කය ඉතාමත් කඩිසරව වැඩ කරන කාලය, කළු කෙස් ඇති කාලය, සම රැලි නැතිව දත් සියල්ල ඇති කාලය තරුණ විය ලෙස බෙදා ගන්නවා.  මැදි විය ඒවා ක්‍රම ක්‍රමයෙන් වැහැරී යන කාලය ලෙසින් තමයි ගන්නේ.  ඉන් පසුව ජීවිතය අවසානය භාගය ලෙසින් සම රැළි වැටී ඇති, කඩිසරව යමක් කරන්නට නො හැකි, ඉතාමත් දුර්වල කයක් සහිත කාලය ලෙසින් මහළු කාලය හඳුනා ගන්නවා. අප මෙසේ හඳුන්වන මහළු කාලය එළඹ නැතිනම් අප කියන්නෙ අපි තරුණයි කියලයි.  අප තවම මහළු නැති බවත් ඉදිරියට ඉතින් වයසට යෑමට හෙවත් මහළු බවට පත්වීමට නියමිත බවත් තමයි අප පවසන්නේ.  වයසට ගියාමත් ගොඩක් මහළු අය හදවත තවම මහළු නෑ කියලා තරුණ කාලේ කල කී දෑ කරන්නට යන වාර අනන්තයි අප්‍රමාණයි. 

ඉතින්, මේ සෑම දෙයක් තුල ම සැඟවී තිබෙන්නේ අපගේ නොදන්නාකම සහ නොදැනුවත් බවයි.  තවමත් “මහල්ලා” කියන පෙර නිමිත්ත නො දැක්ක මානසිකත්වය තමයි මේ සියල්ලෙන් ප්‍රකට වෙන්නේ.  ඔබට බාහිරයෙන් “මහල්ලා” ඇස් දෙකට දකින්නට ලැබෙන අවස්ථාවක නුවණින් ඔබට ඔබගේ මහළු බව හමු වන මොහොත “මහල්ලා නම් වූ නිමිත්ත” දකින අවස්ථාවයි.  එසේ නුවණින් නිමිත්ත දුටු මොහොතේ පටන් ගෙන ඔබට තව දුරටත් තරුණ මහළු ලෙසින් බෙදා ගත් අවධි ලැබෙන්නේ නෑ.  කවදා හෝ පත් වන මහළු බවක් වෙනුවට හැම දාම තිබිලා තියෙන්නේ ම මහළු බව විතරමයි කියලා නුවණින් දකිනවා.  තව දුරටත් බාහිර ස්වභාවයන්ට ඔබ රැවටෙන්නේ නෑ.  තරුණ කෙස්... තරුණ සම... තරුණ බව... මේ කිසිවක් ඔබට අදාළ වෙන්නේ නෑ.  ඔබට හමු වන්නේ ඔබ තුල මහල්ලෙක් පමණයි.  ඒ තුලින් තරුණ බවින් ඇති වන මත් වීම ඉවත් වෙනවා.  ඔබට මේ පැවැත්ම තුල විසඳුමක් නැති ප්‍රශ්නයක් ලැබෙනවා.  ඒ ආකාරයෙන් “මහල්ලා නම් වූ නිමිත්ත” ඔබට විමුක්තිය උදෙසා... සත්‍ය ගවේෂණය උදෙසා... මානසිකත්වය සකස් කර දෙනවා.  ඔබගේ විමුක්තිය උදෙසා ගවේෂණය ආරම්භ වෙන්නේ මෙතැන් සිටයි!

“මහල්ලා නම් වූ නිමිත්ත” දුටු මොහොතේ පටන් ගෙන ඔබට ඔබ පමණක් නොවේ ඔබ වටා ඇති සියලු දේ තුල “මහළු බව” ප්‍රකට වෙනවා.  ජීවි වේවා අජීවි වේවා මහළු බව දරා ගෙන සිටින සියල්ල නුවණින් දකිනවා.  ඒ කාරණය නිසාම තව දුරටත් බාහිර කාරණා මත යැපෙන, ඇලෙන බැඳෙන මානසිකත්වය අඩු වී ඒවායෙන් මිදෙන පැත්තට... විමුක්තිකාමි මානසිකත්වය ම ප්‍රබල වෙනවා.

ඔබ ආදරය කරන... සෙනෙහස දක්වන පිරිස සහ ජීවි අජීවි සියල්ල කෙරෙහි මේ ආකාරයෙන් විසඳුමක් නැති ප්‍රශ්නයක් දකින විට ඔබට දැනෙන අසරණ බව හිතා ගන්න පුළුවන් ද?  ඔබ දුටු ලෙසින් “මහළු බව” නො දැක බාහිරයේ මහළු බවක් දකින පිරිස දකින විට ඔවුන් කොතරම් අසරණ ද යන බව දැනෙන විට ඇති වන හැඟීම වචනයෙන් විස්තර කල හැකි දෙයක් නොවේ.  ඒ කලකිරීම... ඒ අසරණ බව තමයි ඔබට විමුක්තිය උදෙසා මඟ පෙන්වන්නේ.

ඉතින් මෙන්න මේ විදියට විමුක්තිය උදෙසා... සත්‍ය ගවේෂණය උදෙසා සකස් වන මානසිකත්වය අතර මඟ දී දෙදරා යන්නේ නෑ.  මේ නිමිත්ත දැකීම තුලින් ඇති වන අවබෝධයෙන් යුතු මානසිකත්වය ඉතාමත් තියුණු සිහියක් සකස් කර දෙනවා.   ඔබගේ ජීවිතය යෙදවිය යුත්තේ මෙන්න මේ කාරණය උදෙසා යැයි ඔබට ප්‍රධාන අරමුණක් සකස් කර දෙනවා.  විමුක්තිය පිණිස එක පැත්තක එක කකුලක් තියා ගෙන පැවැත්ම පිණිස එක පැත්තක එක කකුලක් තියා ගෙන වැනෙන දුර්වල මානසිකත්වයක් නොවේ.  ඉතාමත් සෘජු ප්‍රතිපත්තියකින් යුතු මානසිකත්වයක් තමයි මේ “නිමිති” දැකීම තුලින් සකස් වෙන්නේ.

ඉතින්, මේ බව නො දන්නා නො දක්නා පිරිස විසින් අධික ප්‍රඥාවකින් යුක්ත වූ මහ බෝ සත් චරිතාපදානය ද විකාර අන්දමින් අර්ථ දක්වා ඇති අයුරු නුවණින් දකිමු!