මහල්ලා දුටු පුංචි කුමරු

මහල්ලා දුටු පුංචි කුමරු

ඉතින්, සම්මා සම්බුද්ධත්වයෙන් පසුව අපගේ උතුම් ශාස්තෘන් වහන්සේ විසින් තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබන්නට පෙර කුමාරයෙක් වශයෙන් මාලිගාවේ සිටින කාලය තුල ජීවිතය දුටු ආකාරය විවිධ සූත්‍ර දේශනා තුල විවිධ මට්ටම් වලින් අන්තර්ගත වෙනවා. 

ත්‍රිපිටක සත්ධර්මය තුල සම්මා සම්බුදු පිය රඳුන් විසින් තමන් වහන්සේ ඉතාමත් සුකුමාල යෞවන අවධියේ දී ඒ කියන්නේ පුංචි දරුවෙක් කාලයේ දී මේ නිමිති දැක්ක ආකාරය ඉතාමත් විස්තර ඇති ව විග්‍රහ කර දෙන සූත්‍ර දේශනාවක් තිබෙනවා.  ඒ වගේම ත්‍රිපිටක සූත්‍ර දේශනා තුල ම ඡන්න රථාචාර්ය සමඟ පෙර නිමිති දුටු අවස්ථාවක් ලෙසින් විග්‍රහ කරන දහම් කොටසකුත් තියෙනවා.  එසේ නම් මේ දේවල් අප විසින් ගැඹුරින් නුවණින් විමසා අවබෝධ කර ගන්නට කැප විය යුතුයි. 

ඉතින්, මේ ඡන්න රථාචාර්ය විසින් මහල්ලා, ලෙඩා, මල මිනිය, පැවිදි රුව ආදිය සම්බන්ධයෙන් සිදු කල විග්‍රහය තුලින් සිදුහත් කුමරු ජීවිතයේ යථාර්ථය අවබෝධ කරමින් අභිනිෂ්ක්‍රමණය කරන්නට කටයුතු කල බවත්...  එතෙක් සිදුහත් කුමරු මේ කිසිවක් ගැන කිසිදු අවබෝධයකින් පසු වූයේ නැති බවත් තමයි අපට කාලයක් තිස්සේ උගන්වන්නේ.  ඉතින් මේ දුන්න අර්ථ කථනය නිවැරදි බව හුවා දැක්වීමට එකතු කරන තවත් කතාවක් තමයි කුමරු බුදු වන බව දැන ගත් සුද්ධෝදන රජතුමා විසින් කුමරුන්ට මහල්ලා, ලෙඩා, මල මිනිය, පැවිදි රුව ආදිය දැක ගන්නට නො හැකි ආකාරයෙන් කටයුතු සලසා තිබූ බවට පවසන කතාව.

ඉතින්, මේ අර්ථ පටලවා ගත් කතාව තුලින් වෙලා තියෙන නස්පැත්තිය දකින්න ඕන. 

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පෙරුම් පුරා ගෙන ඒ සඳහා අවශ්‍ය සියලු පාරමිතා ධර්මයන් ප්‍රගුණ කල, ප්‍රඥා පාරමිතාව ආදිය පරිපූර්ණ අධික ප්‍රඥාවකින් යුතු බෝසත් චරිතයට වඩා, ඡන්න රථාචාර්ය ගේ ප්‍රඥාව අධික බව හුවා දැක්වෙනවා.  අවසානයේ ඡන්න රථාචාර්ය ගේ බණ බුදු බණ බවට පත් වී ඇති ආකාරය ද හොඳින් ම දැක ගන්නට තිබෙනවා.   ඉතින්, මේ දේවල් කව්රුවත් හිතා මතා කරන දේවල් නොවෙයි. ඡන්න රථාචාර්ය වගේ තමයි බහුතරයක ගේ මානසිකත්වය.  “මහල්ලා නම් වූ නිමිත්ත” දැක නැති නමුත් බාහිරයෙන් “මහල්ලා” දකින මානසිකත්වයක් තමයි බහුතරයකට තියෙන්නේ.  එතකොට ඉතින් මේ වගේ දහම් කොටස් වලට අර්ථ ලබා දෙන්නේ ඒ මානසිකත්වයට අනුවයි.  ඒ නිසා කාටවත් දොස් කියන්නට ඵලක් නෑ.  “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි” කියලා තියෙනවා නේ ද?  ඉතින් ඔබට මොහොතකටවත් මේ දේවල් විමසන්නට... ගැඹුර දකින්නට අවශ්‍යතාවයක් ඇති වූයේ නැත්ද?  අන්න එතැනයි ඔබට මෙය නිවන් මඟට වැදගත් වෙන්නේ.  මේ අර්ථ විකෘති වී සිදු වෙන විග්‍රහය, බුදු දහමේ ගැඹුරු බව දැක ගන්නට ඉතාමත් වටිනා අවස්ථාවක්.  මේ වන විට චතුරාර්ය සත්‍ය පවා ඡන්න රථාචාර්ය ගේ ජරාවට පත්වීම, ලෙඩ වීම, මරණය, පැවිදි රුව ආදී විග්‍රහයට අනුව සිදු වන බව දැක ගන්න ට තිබෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ අන්තිමට බුදු බණ කියලා ඡන්න රථාචාර්ය ගේ බණ තමයි සරණ ගිහින් තියෙන්නේ.  එක පැත්තකින් දේවදත්ත හිමියන්ගේ බණ දහම් සරණ යනවා... එක පැත්තකින් ඡන්න රථාචාර්ය ගේ බණ දහම් සරණ යනවා.  අන්තිමට මේ ඔක්කෝම අස්සේ මේ දුලභ බුද්ධ ශාසනයත් මඟ හැරිලා!  කාලාම සූත්‍රයට අනුව සම්මා සම්බුදු ඔවදනට අනුව කටයුතු කර ගන්න උත්සාහවන්ත වන්න ඕන!

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සුකුමාල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා.  එහි සම්මා සම්බුදු රඳුන් විසින් තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබන්නට පෙර ඉතාමත් සුකුමාල කුමාර අවදියේ... ඒ කියන්නේ පුංචි දරුවෙක් වශයෙන් මේ මහල්ලා, ලෙඩා, මරණය, දුටු ආකාරය හරි අපූරුවට පෙන්වා දෙනවා. 

අධික ප්‍රඥාවකින් යුතු මහ බෝසතාණන් වහන්සේ විසින් තමන්ගේ අවට දකින්නට ලැබෙන දේවල් ඉතාමත් ප්‍රඥාවන්ත ආකාරයකින් නිරීක්ෂණය කර ඇති ආකාරයත්, ඒ අනුව ගත් ප්‍රඥාවන්ත තීන්දු තීරණ සියල්ල ඉතාමත් හොඳින් සාරාංශ ගත ලෙසින් විග්‍රහ වන සූත්‍ර දේශනාවක්.  ඔබත් මේ සුකුමාල නමින් වූ සූත්‍ර දේශනාව කියවන්න.  ප්‍රඥාවන්ත ව කියවන්න!  මහල්ලා නම් වූ නිමිත්ත දුටු ප්‍රඥාවන්ත පුංචි කුමාරයා ව දකින්න!