මහළු බවේ නිමිත්ත දැක්ක ද?

මහළු බවේ නිමිත්ත දැක්ක ද?

දැන් ඉතින් බලන්න... ඔබත් බහුතරය අතර සිටින්නෙක් ද කියලා.  මහළු බවේ නිමිත්ත ලෙසින් වටහා ගෙන සිටින්නේ “අනේ අපිත් කවදා හරි වයසට යනවා... හැම දාම තරුණ බව රැක ගන්න බෑනේ” වගේ අදහසක් ද දරා ගෙන ඉන්නේ කියලා.

තරුණ බවින් මත් වෙලා ද ඉන්නේ.  ඒ කියන්නේ තරුණ අවදිය ගැන සිතින් දරා ගෙන රැලි නැති සම, හොඳට තියෙන දීප්තිමත් දත් පෙල, කළු කෙස්, ශක්තිමත් කය මෙන්න මේ දේවල් පවත්වා ගන්නට දරන උත්සාහය... ඒ දේවල් අහිමි වීමේ බිය... කයෙන් මහළු වුනත් “හදවතින් ඉතින් තාමත් තරුණයි” කියලා සිතෙන මානසිකත්වය... මේ දේවල් දරා ගෙන ඉන්න තාක් ඔබ තුල විමුක්තිකාමි සත්‍ය ගවේෂණය උදෙසා ම වූ මානසිකත්වයක් සකස් වෙන්නේ නෑ.  ඒ නිසා තමයි ඡන්න රථාචාර්ය විසින් “මහල්ලා” ගැන සිදු කල විග්‍රහය නිවැරදි සේ දැනෙන්නේ. 

ඔබට මේ “මහළු බව” හෙවත් “ජරා වට පත් වීම” කියන කාරණය මේ පැවැත්මේ විසඳුමක් නැති ප්‍රශ්නයක් ලෙසින් හදවත පසාරු කර ගෙන යන්නට දැනෙන්නේ නෑ.  නිමිති දකිනවා කියන්නේ මේ හදවත පසාරු කර ගෙන යන්නට ලබන අත්දැකීම.  ඒ අත්දැකීම තුලින් තමන්වත් තමන් අවට සියල්ලමත් විනිවිද යෑම. 

මහල්ලා නම් වූ නිමිත්ත දකිනවා කියලා කියන්නේ තව ආකාරයකට ඉපදුන මොහොතේ සිට තමන් ජරාවට පත් වීම කියන කාරණය පමණක් දරා ගෙන සිටින බව නුවණින් දැකීමක්.  තමන් පමණක් නොවේ ජීවී අජීවි සියල්ලට ම උරුම මේ ධර්මතාවය මේ මොහොතේ දී ත් සිදු වෙමින් පවතින බව දැකීමක්. 

ඔබ සම්මත කර ගත් ආකාරයට විවිධ අවස්ථා වලට බෙදා දක්වමින් තරුණ කාලය, මැදි විය, මහළු අවදිය කියලා නම් කර ගත් සියලු කාරණා වල බොරුව අත්දකින අවස්ථාවක්!

නමුත් ඇත්තටම ඔබ මේ මහල්ලා නම් වූ නිමිත්ත අත්දකින තුරු ඔබට මේ සියල්ල වචන සමූහයක් විතරයි.  ඔබට ඔබ දන්නා මහල්ලා... මහළු බව ම තමයි හිතට නැගෙන්නේ.  මේ සියල්ලමත් බුදු දහමේ ඉගැන්වෙන ඉගැන්වීම් ලෙසින් තමයි ඔබට දැනෙන්නේ.  කෙටියෙන් කියනවා නම් තවත් එක් කතන්දරයක් හා සමානයි.  මේ දේවල් පාඩම් කර ගෙන “ආ... ඔව්.. සතර පෙර නිමිති දකින්න ඕන... මහලු බව දකින්නේ මෙහෙමයි... මහළු බවේ නිමිත්ත මේකයි...” ආදී වශයෙන් සිතුවාට... කිව්වාට... ඵලක් නෑ... ඒ අවබෝධයක් නොවේ.  ඒ නිසා තමන් කෙරෙහි... තමන්ගේ වටපිටාව කෙරෙහි නැණවත් පර්යේෂණයක් පිණිස විවර වෙන්න. 

ඇසට පෙනෙන, කණට ඇහෙන, නාසයට දිවට කයට දැනෙන, සිතට හැඟෙන සිතින් වින්දනය කරන සීමාව ඉක්මවා සෑම දෙයක් තුල ම සැඟව ඇති ගැඹුර දකින්න.  අන්න ඒ විවර වීම ඇති මානසිකත්වයට අති දුලභ පෙර නො ඇසූ විරූ දහම් සහිත තථාගත ආර්ය ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගන්නට අවශ්‍ය පසුතලය සකස් වෙනවා.  බුදු දහම සෙල්ලමක් නොවේ.  හිතන තරම් සරල ප්‍රාථමික ඉගැන්වීමක් නොවේ.  කෙටියෙන් කියනවා නම් සතර පෙර නිමිති මට්ටමේ අත්දැකීම පවා බුදු දහම නොවේ.  ඒ බුදු දහම විවර කර ගන්නට උපකාර වන දක්ෂතාවය ක් වර්ධනය වන, ප්‍රඥාව පිණිස ඥානය මෝරන මොහොතක් පමණයි.