පළමු නිමිත්තේ ගැඹුර

පළමු නිමිත්තේ ගැඹුර

පළමු නිමිත්ත කියන්නේ “මහල්ලා”.  ඒ කියන්නේ දැන් අප ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගත්තා වගේ බාහිරයෙන් පෙනෙන තත්ව තුලින් ගත් තීරණයක් නොවන නුවණින් තමන්ගේ යථාර්ථයක් විනිවිද දකින අවස්ථාවක්.

මෙතෙක් විග්‍රහ කල කාරණා ඔස්සේ ඔබ, ඔබ ගැන හොඳින් විමසන්න.  ඔබට දැනෙනව ද අප සම්මත කර ගත් ඇත්තක් මත යැපෙන බව. ඒ බාහිරයෙන් පෙනෙන, ඇහෙන, දැනෙන කාරණා මත අප කොතරම් යැපෙනවා ද කියනවා නම් අපට අපගේ ඇත්ත මඟ හැරෙනවා.  උදාහරණයකට බාහිරයෙන් ඔබගේ රූපය තරුණ අවදිය, හෝ මැදි විය ලෙසින් සම්මත කර ගත් අවස්ථාවේ නම් පවතින්නේ ඔබට “මහළු බව” හෝ තමන් තුල “මහල්ලා” කියන කාරණය දැන් දැනෙන්නේ නෑ.  ඔබට අනාගතයේ සිදු වන්නට නියමිත දෙයක් ලෙසින් තමයි දැනෙන්නේ.  ඔබගේ රූපය තුල ඔබට පෙනෙන්නට සම රැලි වැටිලා නම්... දත් වැටිලා හෝ දිරලා නම්... කෙස් සුදු වෙලා නම්... කයට පෙර සේ ශක්තිමත් දේවල් කරන්නට නො හැකි නම්... කෙටියෙන් මහලු කාලය ලෙසින් සම්මත කර ගත් කාරණා ඔබට ඔබ තුල දැක ගන්නට හැකි නම් ඔන්න ඔබ විශ්වාස කරනවා ඔබ දැන් තමයි මහළු අවදියේ සිටින්නේ කියලා.

සුදු වූ කෙස් නැවත කළු පාට කර ගෙන... වැටී ගිය දත් වලට කෘති ම දත් දමා ගෙන... හැකි තාක් සම අවමයෙන් රැලි ස්වභාවය පවත්වා ගන්නට සමට අවශ්‍ය කරන සාත්තුව කර කර... කය ශක්තිමත් වීමට අවශ්‍ය විටමින් වර්ග ලබා ගනිමින්... කෙසේ හෝ මහළු බව අවම කර ගන්නට වෑයමක් ද සියුම් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.  බහුතරයක් පිරිස ඉන්නේ මේ මානසිකත්වය තුලයි.  

ඉතින්, මේ කියන මහළු බව නෙවේ “මහළු බව නිමිත්තක්” වශයෙන් දකින අවස්ථාවේ දී දකින්නේ.  මේ ආකාරයේ බාහිර කාරණා මත රැඳුණ දෙයක් නොවේ.

වටහා ගැනීමට පහසු වීමට මෙම මේ කියන කාරණා අවස්ථා 3කට බෙදා දක්වන්නම්.

පළමු අවස්ථාව - ඡන්න රථාචාර්ය ඇතුළු බහුතරයක් සිටින මානසිකත්වය තමයි මේ පළමු අවස්ථාව.  පෙර විග්‍රහ කර ගත් ආකාරයට බාහිර පෙනෙන ඇහෙන දැනෙන සම්මත කර ගත් කාරණා මත යැපෙන අවස්ථාව.  එහි දී මහළු අවදිය කියන කාරණය අනාගතයේ සිදු වන කාරණයක් සේ තමයි දැනෙන්නේ.  මේ තමයි සාමාන්‍ය යථාර්ථයක් විමසන්නට දක්ෂ නැති... වුවමනාවක් නැති... පැවැත්ම කෙරෙහි ම සිත තබා ගත් මානසිකත්වය.

දෙවන අවස්ථාව - නිමිති දකින අවස්ථාව.  එක්තරා මොහොතක “මහල්ලා” කියන... සම්මතයේ මහළු අවදියේ සිටින කෙනෙක් වේවා දකින අවස්ථාවක “මහළු බව හෙවත් ජරාවට පත් වීම” කියන කාරණය විනිවිද දකින අවස්ථාව.  පැවැත්ම තුල විසඳුමක් නැති... උපන් මොහොතේ පටන් ගෙන සිදු වන එකම ක්‍රියාවලිය මේ ජරාවට පත් වීම බව දකිනවා.  එවිට මේ තරුණ අවදිය, මැදි වයස ආදී ලෙසින් සම්මත කර ගැනීමේ පුහු බව දැනෙනවා.  මේ “ජරාවට පත්වීම” කියන ස්වභාවය, හෙවත් “මහල්ලා” පැවැත්ම තුල ධර්මතාවයක් ලෙසින් දකිනවා.  මේ පැවැත්මේ අසාර බව දැනී විමුක්තිකාමි මානසිකත්වයක් හට ගන්නවා.  සත්‍ය සොයන්නට පටන් ගන්නවා. ගැලවීමක් සොයනවා.  තරුණ බව කියන සම්මත කර ගත් කිසිදු තත්වයකින් ඔබව තව දුරටත් රවටන්නට නො හැකි වෙනවා.  ඒ කිසිවකට අහු වෙන්නේ නෑ.  ඒවායේ බොරුව දකිනවා.  එවිට බාහිර වූ රූපයක පෙනුමක් මත හෝ ඒවා පවත්වා ගන්නට දරන වෑයම වෙනුවට මේ පැවැත්මට උරුම මේ කියන ප්‍රශ්නයට විසඳුමක්... ගැලවීමක්... විමුක්තියක් සොයනවා.  ඒ සඳහා ඉතාමත් තියුණු සිහියක් ඇති වෙනවා.

තෙවන අවස්ථාව - එසේ විමුක්තිය සොයන්නට පටන් ගත්ත විමුක්තිකාමියාට පෙර නො ඇසූ විරූ “ජරාව” හෙවත් “මහල්ලා” හමු වන අවස්ථාව.  මෙයට ජරාවට පත් වීම කියන කාරණයේ ආර්ය සත්‍ය හමු වන අවස්ථාව කියලා කියන්න පුළුවන්.  මේ ඇත්ත බුද්ධ ශාසනයක සම්මා සම්බුදු කෙනෙක් හෝ උන්වහන්සේ පෙන්වා දුන්න පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ කර ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් ගෙන් හැරෙන්නට අසා ගන්නටවත් ප්‍රකට නැති තත්වයක්.  මෙන්න මෙතැන දී තමයි විමුක්තිකාමියාට... සත්‍ය ගවේෂණය කරන්නා ට... තථාගත සත්ධර්මය හෙවත් බුදු දහම ලැබෙන්නේ.  ඒ ලැබෙන තාක් අන්‍ය වූ ශාසන තුලින්... අන්‍ය වූ ක්‍රම වේද ඔස්සේ විමුක්තිය සොයනවා... ඇත්ත සොයනවා.

මේ අවස්ථා ගැන කිසිවක් නො දන්නා... නො දක්නා... සොයන්නට වුවමනාවක්වත් නැති බහුතරයක් පිරිස මොකද කරන්නේ? අති දුලභව සම්මා සම්බුදු හිමියන් දේශනා කල පෙර නො ඇසූ විරූ ආර්ය ඇත්ත කියන්නෙත් තමන් දන්නා ඇත්ත තමයි කියලා හිතනවා.  හරියට බැලුවොත් “පෙර නිමිති” දකින මට්ටමත් වඩා පහල අවස්ථාවක තිබෙන ඇත්තක් තමයි එසේ උතුම් වූ පරම සත්‍ය ලෙසින් විශ්වාස කර ගෙන කටයුතු කරන්නේ.

සතර පෙර නිමිති ගැන අර්ථ දක්වන්නෙත් ඒ මානසිකත්වයෙන් ම තමයි.  ඉතින්, බුදු දහම හෙවත් ආර්ය ඇත්තට ලං වෙන්නට හෝ හැකි වෙන්නේ දෙවන අවස්ථාව හෙවත් නිමිති දකින අවස්ථාව පසු කල කෙනෙකුට ම පමණයි.  සම්මා සම්බුද්ධ ශාසනයක මාර්ග ඵල ලැබූ සියලු පිරිස මේ කියන අවස්ථාව පසු කල චරිතයි. 

ඒ අවස්ථාවට පත් නොවී ආර්ය ඇත්ත අවබෝධ කර ගන්නට හැකි ගැඹුරු සමාධියක් සහිත මානසිකත්වය සකස් වෙනවා කියලා දෙයක් වෙන්නේ නෑ.  බලහත්කාරයෙන් “නිවන් දකින්න ඕනෑ” කියලා මානසිකත්වයක් සකස් කර ගෙන “අනේ අපිත් වයසට යනවා... මැරෙනවා... ලෙඩ වෙනවා මට නම් නැවත උපදින්නට ඕනෑ කියලා කිව්වාට හෝ වුවමනාවක් තිබුණට පලක් නෑ”.  ඔබට සැබෑ ම නිවීම පිණිස දහම් ලැබෙන්නට ඔබ විසින් පසු කල යුතු අවදි තිබෙනවා.  ඒ ප්‍රඥාව මෝරන... නුවණ මෝරන ක්‍රමවේදයයි.  විමුක්තිකාමි මානසිකත්වය සකස් වෙන වැඩපිළිවෙළ.  අන්න ඒ නිසා තමන්ව දකින්න... නුවණින්... අවංකව ම තමන් ඉන්නේ කොතන ද කියලා ගැඹුරින් විමසන්න. 

නැත්නම් ඡන්න රථාචාර්ය ගේ බණ... දේවදත්ත හිමියන් ගේ බණ... සම්මා සම්බුදු බණ ලෙසින් පටලවා ගෙන මේ දුලභ ශාසනයත් මඟ හැරීම නොවැලැක්විය හැකියි!