කාලයක් තිස්සේ සාමාන්‍ය වෙනස් වීමක් වත් දැක ගන්නට තරම් නුවණක් නැති කොටින් ම කියනවා නම් රථාචාර්ය තරම් වත් නුවණක් නො තිබූ ඉතාමත් බොළඳ චරිතයක් ලෙසින් හුවා දැක්වෙන අධික ප්‍රඥාවකින් යුතු මහ බෝසත් චරිතය නුවණින් දකින්න ඕන. තමන්ගේ ශාස්තෘන් වහන්සේ ව දකින්නේ නැතිව මේ ගමන යන්න බැරි බව දකින්න ඕන.
මේ සුඛුමාල සූත්‍ර දේශනාවේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉතාමත් අලංකාරවත් ලෙසින් තමන් වහන්සේට තමන් වහන්සේගේ පිය රජු විසින් දුන්න සැප සම්පත් සහ කුමාරයෙක් වශයෙන් තමන් ගත කල අධි සුඛෝපභෝගී ජීවිතය ගැන විග්‍රහ කරලා දෙනවා. ඉන් පසුව ඒ කිසිම තත්වයකින් වෙනස් කරන්නට නො හැකි වූ... ඒ සැපවත් භාවයට හසු නොවී යථාර්ථය දකින්නට කල්ප කාලාන්තරයක් පුරා මෙහෙය වූ මානසිකත්වයේ පුරුද්ද ඉදිරිපත් වූ ආකාරය ඉතාමත් ලස්සනට විග්‍රහ වෙනවා. ප්‍රඥා පාරමිතාව පූර්ණ වූ චරිතයක ස්වභාවය දැක ගන්නට තරම් නුවණක් ඔබට තියෙන්න ඕන. අඩුම තරමේ මේ විදියට පෙන්වා දෙන විට දී වත් ඒ දේවල් ගැඹුරින් විමසන්නට දක්ෂ වෙන්න ඕන.
“මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්‍රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය”
සරලව ඉතාමත් කෙටියෙන් කියන්නේ මහල්ලා නම් වූ නිමිත්ත දුටු අවස්ථාව ගැනයි. සාමාන්‍ය මානසිකත්වයකින් යුතු මිනිස්සු මහලු බවට පත් වූ පුද්ගලයන් දකින විට ප්‍රතිචාර දක්වන ආකාරය පවා බෝසත් කුමාරයාට ප්‍රඥාවන්ත ව නිරීක්ෂණය වී තිබෙනවා. නිමිත්ත දකින විට මානසිකත්වයක ස්වභාවය එය යි. තමන් “මහළු බව ඉක්මවා නැති බව” ඒ කියන්නේ තමන් තුල තිබෙන්නේ ඒ ජරාවට පත් වන ස්වභාවය පමණ මයි කියන දේ නුවණින් දකිනවා. “මම තාම තරුණයි” කියන අදහස කියන්නේ තරුණ බව කෙරෙහි වූ මත් වූ ස්වභාවයයි. ඒ කියන්නේ යථාර්ථය ගැන ඇති අසිහිය. ඉතින් මෙන්න මේ “යෞවන මදය” ඉවත් වෙනවා මේ පළමු නිමිත්ත දකින විට. ඉතාමත් ගැඹුරු දහම් කොටසක්. නමුත් මේ බුදු දහම නෙවේ. මේ විමුක්තිකාමි මානසිකත්වයක් අත්දකින්නට හැකි යථාර්ථය දකින අවස්ථාවක්. තමන්ගේ විමුක්තිය පිණිස වූ සත්‍ය පිණිස වූ පර්යේෂණය හැර සිදු කල යුතු අන් දෙයක් නැති බව දකින්නට දැනෙන නිමිති.
ඉතින්, මේ විදියට පැවැත්ම කෙරෙහි වූ විසඳුමක් නැති ප්‍රශ්නයකට විසඳුමක් සෙවීමට අවශ්‍ය බව දැන දැක ප්‍රඥාවන්ත ව වාසය කරන කුමාරයා තමන්ගේ අවට සිටින අයගෙන් මේ දේවල් විමසීම සාමාන්‍ය දෙයක්. එහෙම විමසන්නෙත් ප්‍රඥාවන්ත අදහසින් යුතුවමයි. නිකම් විහිළුවට අහන දේවල් නෙවේ. ඡන්න කියන්නේ කුමාරයාගේ ලඟින් ම ඉන්න හොඳ යාළුවෙක්. ජීවිතයේ යථාර්ථය දකින කෙනා නිරන්තරයෙන් ඉන්නේ ඒ සිහියෙන්. ප්‍රඥාවන්ත බෝසත් කුමාරයාත් ඒ වගේ. ඉතින් ඔන්න ඡන්න එක්ක යන ගමන් දකිනවා මහල්ලෙක්. කුමාරයා මහල්ලා ව දැක්කේ පුංචි කාලයේ දී මයි. යාළුවාගේ දැක්ම විමසනවා... “ඡන්න, අර කව්ද?”
නමුත් ඡන්න ඇතුළු බහුතරය හිතන්නේ “අනේ කවදා හරි මාත් මහළු වෙනවා... මේ හොඳට තරුණකම ට ඉන්න මට, මගේ රූපයට ඒ වගේ දත් වැටිලා, සමර රැලි වැටිලා, කෙස් සුදු වෙලා, කය දුර්වල වෙලා මහල්ලෙක් වෙන්න සිද්ධ වෙනවා... අයියෝ කෙසේ දරා ගන්න ද?” කියලා සෑහෙන කම්පා වෙලා බොළඳ කුමාරයා නැවත මාලිගාවට ගියා කියලයි.
ඉතින් මේ විදියට අර්ථ වටහා ගෙන බහුතරයක් දෙනා අදටත් ඒ ප්‍රඥාවන්ත චරිතය විවේචනය කරනවා. ජීවිතයේ සාමාන්‍ය යථාර්ථයක් වත් දරා ගන්න බැරි ව බිරිඳ දරුවා අතහැරලා හොරෙන් ම කැලේ පැන්න අනුවණ චරිතයක් විදියට තමයි අදටත් බහුතරයක් දෙනා දකින්නේ. සම්මා සම්බුදු කෙනෙක් තවත් එක් දර්ශනවාදියෙක් බවට පත් වෙලා... තවත් එක් ආගමික ශාස්තෘ කෙනෙක් බවට පත් වෙලා... බහුතරයක් පිරිසට ඒ දුලභ අවස්ථාව මඟ හැරෙන්නෙ මෙන්න මේ වගේ කාරණා නිසයි.
පෙර පිටුවට
මහල්ලා දුටු පුංචි කුමරු
මීළඟ පිටුවට
මහළු බවේ නිමිත්ත දැක්ක ද?