ලෙඩෙක්  - දෙවන නිමිත්ත

ලෙඩෙක් - දෙවන නිමිත්ත

සතර පෙර නිමිති ලෙසින් හඳුන්වන  කාරණා තුල දෙවන නිමිත්ත ලෙසින් දක්වන්නේ “ලෙඩෙක්” කියන කාරණයයි.  මේ දෙවැනි නිමිත්ත ද නුවණින් විනිවිද දැකිය යුතුයි.  “ලෙඩෙක්” තුලින් ඔබ ද “ලෙඩක් ම” බව විනිවිද දැකිය යුතුයි. 

බොහෝ අවස්ථා වල දී නීරෝගී ව සිටින පුද්ගලයින් රෝගී පුද්ගලයන් දුටු විට ඔවුන්ට හිනා වෙනවා, අපහාස කරනවා, උපහාසයට ගන්නවා.  සමහර පුද්ගලයන් රෝගීන්ට අනුකම්පා කරනවා, සමහරු ඉතාමත් ආදරයෙන් සෙනෙහසකින් යුතුව කටයුතු කරනවා. සමහරු පිළිකුල් කරනවා.  සමහරුන්ට නම් හරිම වදයක් සේ දැනෙනවා.  සමහරු මේ රෝගී බවට බියයි.  ඒ නිසාම ලෙඩුන් ව මඟ හරිනවා.  ඉතින් මේ ආකාරයෙන් විවිධ ප්‍රතිචාර දක්වන්නේ බාහිරයෙන් “ලෙඩක්” දකිනවා මිස තමන්ගේ ලෙඩ බව විනිවිද දැක නැති නිසාමයි. 

ඉතින් එහෙනම්, මොකක්ද මේ “ලෙඩ බව” කියන්නේ?

“දැන් නම් හොඳට නිරෝගීයි... කිසිම ලෙඩක් නෑ දෙයියන්ගේ පිහිටෙන්... ඒත් ඉතින් කොයි වෙලාවේ හරි ලෙඩ වෙන්න පුළුවන් කියලා දන්නවා.  පුළුවන් උපරිමයෙන් ලෙඩ නොවී ඉන්න උත්සාහ කරනවා.  නීරෝගී වෙලා ඉන්න එපැයි ඉතින් නිවන් දකින්න වුණත්... බුදු හාමුදුරුවොත් ඉතින් බෙහෙත් බිව්වනේ”

ඔන්න ඔය වගේ තමයි ඉතින් බහුතරයක් පිරිස ලෙඩ බව සහ නීරෝගී බව අර්ථ දක්වන්නේ. 

ලෙඩ වර්ග කියලා වෙන් කර ගෙන ඉන්නවා.  ඒ ඒ රෝග ලක්ෂණ මතු වෙන අවස්ථා තියෙනවා.  ඒ රෝග ලක්ෂණ අනුව මෙන්න මේ රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරු හරහා හෝ වෙනත් වෛද්‍ය පරීක්ෂණ තුලින් තහවුරු කර ගන්නවා.  මෙන්න මේ සියල්ල තුලින් රෝගයක් වැළඳී අවස්ථාවක් ගැන තීරණයක් ගත් විට ඔන්න අපි සම්මත කර ගන්නවා “ලෙඩ වීම” කියන්නේ මේකට තමයි කියලා.

රෝග ලක්ෂණ අප්‍රකට තාක්... රෝගයක් ඇති බවට අපගේ කයට හෝ සිතට දැනෙන්නේ නැති තාක් කාලය අපි කියනවා නීරෝගී අවධිය කියලා. 

දැන් ඔබට පෙනෙනවා ද නැවතත් මේ ඉන්නේ මොන අවස්ථාවේ ද? ඔව් පෙර පළමු නිමිත්තේ ගැඹුර විග්‍රහ කර ගන්නා අවස්ථා වේ දී වටහා ගැනීමේ පහසුව පිණිස බෙදා දැක්වූ ආකාර වලින් මේ ඉන්නේ පළමු අවස්ථාව තුලයි.  බාහිර වූ පෙනෙන, ඇහෙන, දැනෙන කාරණා ඔස්සේ මත පමණයි යැපෙන්නේ.

ඉතින්, මේ සෑම දෙයක් තුල ම සැඟවී තිබෙන්නේ අපගේ නොදන්නාකම සහ නොදැනුවත් බවයි.  තවමත් “ලෙඩක්” කියන පෙර නිමිත්ත නො දැක්ක මානසිකත්වය තමයි මේ සියල්ලෙන් ප්‍රකට වෙන්නේ.  ඔබට බාහිරයෙන් “ලෙඩෙක්” ඇස් දෙකට දකින්නට ලැබෙන අවස්ථාවක නුවණින් ඔබට ඔබගේ ලෙඩ බව හමු වන මොහොත “ලෙඩෙක් නම් වූ නිමිත්ත” දකින අවස්ථාවයි. 

එසේ නුවණින් නිමිත්ත දුටු මොහොතේ පටන් ගෙන ඔබට තව දුරටත් නීරෝගී සහ ලෙඩ වීම ලෙසින් කාරනා දෙකකට බෙදා ගත් අවධි ලැබෙන්නේ නෑ.  කවදා හෝ පත් වන ලෙඩ වීමක්... ලෙඩ නැති නීරෝගී අවධියක් වෙනුවට හැම දාම තිබිලා තියෙන්නේ ම රෝගී බව විතරමයි කියලා නුවණින් දකිනවා.  තව දුරටත් බාහිර ස්වභාවයන්ට ඔබ රැවටෙන්නේ නෑ.  වෛද්‍ය විද්‍යාව තුලින් රෝගී බවට විසඳුමක් ඇති සේ ඔබට හැඟෙන්නේ නෑ.  නීරෝගී බව කියලා බැලූ බැල්මට පෙනෙන, අත්දකින අවධිය තුල නීරෝගී බවක් ඔබට හමු වෙන්නේ නෑ.  උපන් මොහොතේ පටන් ගෙන ඇත්තේ ලෙඩ වීම පමණමයි... ව්‍යාධිය... හෙවත් රෝගී බව පමණමයි කියලා ඔබට අවබෝධ වෙනවා.  ලෙඩ වීම ස්වභාව කොට ගෙන... ලෙඩ වීම කියන කාරණය දරා ගෙන සිටින බව දකිනවා.  උපන් මොහොතේ පටන් ගෙන දරා ගෙන ඉන්නේ ලෙඩ වීමේ හැකියාව පමණමයි කියලා දකිනවා.  ඒ “ලෙඩ වීමේ හැකියාව” කියන “රෝගය” දරා ගෙන සිටින හෙයින් සෑම මොහොතක ම ලෙඩ වීමක් මිස නීරෝගී බවක් යැයි සම්මත තත්වයක් කෙරෙහි සතුටු විය නො හැකි බව දකිනවා.  නීරෝගී බවින් ඇති වන මත් වීම ඉවත් වෙනවා.  ඔබට මේ පැවැත්ම තුල විසඳුමක් නැති තවත් ප්‍රශ්නයක් ලැබෙනවා.  ඒ ආකාරයෙන් “ලෙඩෙක් නම් වූ නිමිත්ත” ඔබට විමුක්තිය උදෙසා... සත්‍ය ගවේෂණය උදෙසා... මානසිකත්වය සකස් කර දෙනවා.  ඔබගේ විමුක්තිය උදෙසා ගවේෂණය ආරම්භ වෙන්නේ මෙතැන් සිටයි!

“ලෙඩක් නම් වූ නිමිත්ත” දුටු මොහොතේ පටන් ගෙන ඔබට ඔබ පමණක් නොවේ ඔබ වටා ඇති සියලු දේ තුල “ලෙඩ බව” ප්‍රකට වෙනවා.  ජීවි වේවා අජීවි වේවා රෝගී බව දරා ගෙන සිටින සියල්ල නුවණින් දකිනවා.  ඒ කාරණය නිසාම තව දුරටත් බාහිර කාරණා මත යැපෙනඇලෙන බැඳෙන මානසිකත්වය අඩු වී ඒවායෙන් මිදෙන පැත්තට... විමුක්තිකාමි මානසිකත්වය ම ප්‍රබල වෙනවා.

ඔබ ආදරය කරන... සෙනෙහස දක්වන පිරිස සහ ජීවි අජීවි සියල්ල කෙරෙහි මේ ආකාරයෙන් විසඳුමක් නැති ප්‍රශ්නයක් දකින විට ඔබට දැනෙන අසරණ බව හිතා ගන්න පුළුවන් ද?  ඔබ දුටු ලෙසින් “ලෙඩ බව” නො දැක බාහිරයේ ලෙඩ බවක් දකින පිරිස දකින විට ඔවුන් කොතරම් අසරණ ද යන බව දැනෙන විට ඇති වන හැඟීම වචනයෙන් විස්තර කල හැකි දෙයක් නොවේ.  ඒ කලකිරීම... ඒ අසරණ බව තමයි ඔබට විමුක්තිය උදෙසා මඟ පෙන්වන්නේ.

ඉතින් මෙන්න මේ විදියට විමුක්තිය උදෙසා... සත්‍ය ගවේෂණය උදෙසා සකස් වන මානසිකත්වය අතර මඟ දී දෙදරා යන්නේ නෑ.  මේ නිමිත්ත දැකීම තුලින් ඇති වන අවබෝධයෙන් යුතු මානසිකත්වය ඉතාමත් තියුණු සිහියක් සකස් කර දෙනවා.   ඔබගේ ජීවිතය යෙදවිය යුත්තේ මෙන්න මේ කාරණය උදෙසා යැයි ඔබට ප්‍රධාන අරමුණක් සකස් කර දෙනවා.  විමුක්තිය පිණිස එක පැත්තක එක කකුලක් තියා ගෙන පැවැත්ම පිණිස එක පැත්තක එක කකුලක් තියා ගෙන වැනෙන දුර්වල මානසිකත්වයක් නොවේ.  ඉතාමත් සෘජු ප්‍රතිපත්තියකින් යුතු මානසිකත්වයක් තමයි මේ “නිමිති” දැකීම තුලින් සකස් වෙන්නේ.

ඉතින්, මේ බව නො දන්නා නො දක්නා පිරිස විසින් අධික ප්‍රඥාවකින් යුක්ත වූ මහ බෝ සත් චරිතාපදානය ද විකාර අන්දමින් අර්ථ දක්වා ඇති අයුරු නුවණින් දකිමු!