ලෙඩෙක් දුටු පුංචි කුමරු

ලෙඩෙක් දුටු පුංචි කුමරු

දැන් ඉතින්, සම්මා සම්බුද්ධ චරිතාපදානයේ සතර පෙර නිමිති කොටස සම්පූර්ණයෙන් අර්ථ විපරීත වී අර්ථ දැක්වෙන අයුරු අනුමාන වශයෙන් හෝ දැනෙනවා ඇති නේ.  අධික ප්‍රඥාවක් සහිත මහ බෝසත් කුමරු දැක්කේ ද සාමාන්‍ය යථාර්ථයක් දැකීම පිණිස වත් නුවණ මෙහෙයවිය නො හැකි බහුතරයක් දකින “ලෙඩෙක්” තමයි ලෙසින් තමයි ඉතින් අර්ථ විග්‍රහ වෙන්නේ. 

ත්‍රිපිටක සත්ධර්මය තුල ඇති සුඛුමාල සූත්‍ර දේශනය තුල සම්මා සම්බුදු පිය රඳුන් විසින් තමන් වහන්සේ ඉතාමත් සුකුමාල යෞවන අවධියේ දී ඒ කියන්නේ පුංචි දරුවෙක් කාලයේ දී මේ ලෙඩක් කියන නිමිත්ත දැක්ක ආකාරය ඉතාමත් විස්තර ඇති ව විග්‍රහ කර දෙන අපූරු සූත්‍ර දේශනාවක්.  

අධික ප්‍රඥාවකින් යුතු මහ බෝසතාණන් වහන්සේ විසින් තමන්ගේ අවට දකින්නට ලැබෙන දේවල් ඉතාමත් ප්‍රඥාවන්ත ආකාරයකින් නිරීක්ෂණය කර ඇති ආකාරය මේ සූත්‍ර දේශනාව තුල ප්‍රකට වෙනවා.  සාමාන්‍ය බාහිර කාරණා මත යැපෙමින් රෝගී බව දකින බහුතරයක් පිරිස ලෙඩෙක් දුටු විට හැසිරෙන ආකාරය මේ ප්‍රඥාවන්ත කුමාරයා දකිනවා.

ප්‍රඥාවෙන් ලෙඩෙක් දකින... ප්‍රඥාවෙන් මේ ව්‍යාධිය කියන ස්වභාවය දකින්නා බාහිර කාරණා ඉක්මවා ගිය ගැඹුරක් තමයි දැනෙන්නේ.  බක්කුල හිමියන් කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නීරෝගී බවින් අග්‍රස්ථානය ලැබූ රහතන් වහන්සේ නේ.  ඉතින්, ඒ නීරෝගී බව කියන්නේ සම්මතයේ අප මේ නීරෝගී ලෙසින් විග්‍රහ කර ගන්නා කිසිදු ලෙඩ රෝගයක් ප්‍රකට නැති අවස්ථාව.  ඒ වගේ සම්මතයේ නීරෝගී බව ම  පමණක් ප්‍රකට පුද්ගලයෙක් පවා “ලෙඩෙක් කියන නිමිත්ත” දැක්කා.  ඒ නිසා තමයි විමුක්තිය ලබා සත්‍ය අවබෝධ කර ගෙන මේ පැවැත්ම අවසන් කර ගත්තේ. 

එයත් මේ “ලෙඩෙක් නම් වූ නිමිත්ත” බාහිර වූ කරුණු කාරණා මත පදනම් වූවක් නෙවේ කියලා දැක ගන්නට ඔබට හොඳ උදාහරණයක් සහිත අවස්ථාවක්. ඉතින්, තමන්ට මේ අත්දැකීම නො ලැබෙන තාක් ඔබට ප්‍රඥාවන්ත බෝසත් කුමරු ද මේ “ලෙඩෙක් නම් වූ නිමිත්ත” දැක්කේ ඔබ ලෙඩෙක් දකින ආකාරයට ම බව සිතේවි. දැනේවි!      

සුඛුමාල නමින් වූ සූත්‍ර දේශනාව කියවන්න.  ප්‍රඥාවන්ත ව කියවන්න!   ලෙඩෙක් නම් වූ නිමිත්ත දුටු ප්‍රඥාවන්ත පුංචි කුමාරයා ව දැක ගන්නට නුවණ මෙහෙයවන්න!