රෝගී බවේ නිමිත්ත දැක්ක ද?

රෝගී බවේ නිමිත්ත දැක්ක ද?

නුවණින් නිමිත්තක් සේ ලෙඩෙක් නො දකින සාමාන්‍ය බහුතරයක් වූ ලෝක සත්වයාට නීරෝගී බව කියන්නේ මත් බවක්.  “මට ලෙඩක් නෑ” කියන්නේ සතුටෙන්.  නමුත් එසේ කියන්නේ ම තමන්ගේ යථාර්ථය දැක ගන්නට තරම් සිහියක්, නුවණක් නො තිබූ නිසාමයි.  ලෙඩ වීම දරා ගෙන සිටින බව... ලෙඩ වෙන්නට ඇති හැකියාවෙන් ම පමණක් යුක්ත බව... මේ දේවල් දැක ගන්නට සිහියක් නෑ.  පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බාහිර වූ කාරණයකට යටත් වෙලා, ඒ දේම විශ්වාස කර ගෙන අසිහියට පත් වෙලා.  මෙන්න මේ අසිහිය තුල ලැබෙන ඵලයට මත් වෙලා ඉන්නේ.  ඒ තමයි “තරුණ බවට මත් වීම... නීරෝගී බවට මත් වීම... ආයුෂ කෙරෙහි මත් වීම...” කියන කාරණා තුලින් පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ “නීරෝගී මදය” ඉවත් වෙනවා මේ දෙවන නිමිත්ත ලෙසින් හඳුන්වන “ලෙඩෙක් නම් වූ නිමිත්ත” දකින විට. 

ඉතාමත් ගැඹුරු දහම් කොටසක්.   කොතරම් ගැඹුරු වුවත් මේ මට්ටම කියන්නෙත් පෙර නො ඇසූ විරූ දහම් සහිත... තථාගතයන් වහන්සේ නමක් විසින් පමණක් ප්‍රකට කල හැකි බුදු දහම නෙවේ.  එතකොට හිතා ගන්න පුළුවන් නේ ඒ බුදු දහමේ ගැඹුර කොතරම් විය යුතු ද කියලා.  ඒ නිසා තමයි නිතරම “බුද්ධ ධර්මය දන්නවා... සත්ධර්මය දන්නවා... අවබෝධ කලා...” ලෙසින් මාන්නයෙන් යුතුව කටයුතු කරන්නට පෙර විමසන්න කියන්නේ.  අන්තිමට බුදු දහම කියලා අන් අයත් එක්ක බෙදා ගන්නෙත් ඉතාමත් සරල තමන්ගේ දැක්මට අනුව විග්‍රහ කර ගත්ත තවත් එක් ලෝකයේ ම දෘෂ්ඨියක් විතරයි. 

මේ “පෙර නිමිති දකින අවස්ථාව” කියන්නේ විමුක්තිකාමි මානසිකත්වයක් අත්දකින්නට හැකි යථාර්ථය දකින අවස්ථාවක්.  තමන්ගේ විමුක්තිය පිණිස වූ සත්‍ය පිණිස වූ පර්යේෂණය හැර සිදු කල යුතු අන් දෙයක් නැති බව දකින්නට දැනෙන නිමිති.

ඉතින්, මේ දෙවන නිමිත්ත සමඟ ප්‍රඥාවන්තයා ට පැවැත්ම කෙරෙහි වූ විසඳුමක් නැති තවත් ප්‍රශ්නයක් හමු වෙනවා.  එයට විසඳුමක් සෙවීමට අවශ්‍ය බව දැන දැක අවබෝධයෙන් සිහියෙන් යුතුව තමයි කටයුතු සිදු වෙන්නේ. 

සිදුහත් කුමාරයා වගේ.  ඒ ප්‍රඥාවන්ත කුමාරයා තමන්ගේ අවට සිටින පිරිස කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් මේ ගැඹුර දකිනවා ද යන්න විමසා බැලීම සාමාන්‍ය දෙයක්.  එහෙම විමසන්නෙත් ප්‍රඥාවන්ත අදහසින් යුතුව මිසක් බහුතරයක් පිරිස දකින මට්ටමකින් නොවේ.  ඡන්න එක්ක යන ගමන් ලෙඩ වූ පුද්ගලයෙක් දකින ප්‍රඥාවන්ත කුමාරයා තමන් පුංචි කාලයේ දී ම දුටු ලෙඩා ගැන යාළුවාගේ දැක්ම විමසනවා... “ඡන්න, අර කව්ද?”

ඡන්න අයිති වුනෙත් ඒ කාලයේ දී බහුතරයක් පිරිස පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමේ දේවල් ඇත්ත කියලා අධික විශ්වාසයකින් යුතුව කටයුතු කරන අති පණ්ඩිත සත්ව කොටසට ම තමයි.   ඒ නිසා ඡන්න ගෙන් ලැබුනෙත් ඉතින් ඒ සාමාන්‍ය ජනයා දෙන බක පණ්ඩිත උත්තරය ම තමයි.  ප්‍රඥාවන්තයින් මේ නොදරුවන් හමුවේ තවත් කලකිරෙනවා.  ඒ නොදරුවන් කෙරෙහි අනුකම්පාවක් ම හට ගන්නවා.  බහුතරයක් පිරිස කොතරම් අසරණ ද කියන හැඟීම ම දැනෙනවා.  අන්න ඒ කලකිරීමේ, අසරණ ව සිටින ලෝක සත්වයා ගලවා ගැනීමට කටයුතු කල බව දැනෙන මහා දයාව... ප්‍රඥාවන්තයා ට සාමාන්‍ය විදියට විනෝදයෙන් කටයුතු කරන්නට නො හැකි බවක් මේ සියලු දේ හමු වේ ලැබෙනවා.  සතුටු විය හැකි උයන් කෙලි නවතා දමා ආපසු හැරී නැවත මාලිගාවට ප්‍රඥාවන්ත කුමාරයා තීරණය කරන්නේ එහෙමයි. 

නමුත් ඡන්න ඇතුළු බහුතරය හිතන්නේ “අනේ කවදා හරි මාත් ලෙඩ වෙනවා... මේ හොඳට නීරෝගී කමට ඉන්න මට, ඒ වගේ ලෙඩෙක් වෙන්න සිද්ධ වෙනවා... අයියෝ කෙසේ දරා ගන්න ද?” කියලා සෑහෙන කම්පා වෙලා බොළඳ කුමාරයා නැවත මාලිගාවට ගියා කියලයි. 

ඇත්තටම බොළඳ කව්ද කියලා දැනෙනවද?

බොළඳ විදියට... නොදරුවෙක් වගේ ලෙඩ වීම දකින ඔබගේ මානසිකත්වය ගැන නුවණින් විමසන්න... කවදා හෝ ලෙඩ වීමක්... ලෙඩ බව ප්‍රකට නැති තාක් විද්‍යාමාන වන තත්වය නීරෝගී බවක් සේ දැක සිත, කය, වචනය කටයුතු කරන ආකාරය දකින්න.  දෙවන නිමිත්ත ලෙසින් හඳුන්වන “ව්‍යාධිය... රෝගී බවේ.. ලෙඩ බවේ නිමිත්ත” දැක ගන්නට විවර වෙන්න!