දෙවන නිමිත්ත දුටු කුමරු

දෙවන නිමිත්ත දුටු කුමරු

කාලයක් තිස්සේ සාමාන්‍ය වෙනස් වීමක් වත් දැක ගන්නට තරම් නුවණක් නැති කොටින් ම කියනවා නම් රථාචාර්ය තරම් වත් නුවණක් නො තිබූ ඉතාමත් බොළඳ චරිතයක් ලෙසින් හුවා දැක්වෙන අධික ප්‍රඥාවකින් යුතු මහ බෝසත් චරිතය නුවණින් දකින්න ඕන.  තමන්ගේ ශාස්තෘන් වහන්සේ ව දකින්නේ නැතිව මේ ගමන යන්න බැරි බව දකින්න ඕන.

මේ සුඛුමාල සූත්‍ර දේශනාවේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉතාමත් අලංකාරවත් ලෙසින් තමන් වහන්සේට තමන් වහන්සේගේ පිය රජු විසින් දුන්න සැප සම්පත් සහ කුමාරයෙක් වශයෙන් තමන් ගත කල අධි සුඛෝපභෝගී ජීවිතය ගැන විග්‍රහ කරලා දෙනවා.

එතරම් සුඛෝපභෝගී බවක් මේ වන විට ලෝකයේ ඔබයි මම යි අසා දන්නා අතිශයින් ම ධනවත් ම කියන පුද්ගලයන්ට වත් තියෙන තත්වයක් නොවෙයි.  එවන් සුඛෝපභෝගී සුව පහසු ජීවිතයක් ගත කරන්නට ලැබෙන විට අඥානයාගේ තීරණය සහ ප්‍රඥාවන්තයා ගේ තීරණය අහසට පොළොව වගේ.

ටිකක් හිතන්න අතේ සතයක් නැතිව ඉන්න කොටත් හිතන්නේ “ලෙඩක් දුකක් හැදුනොත් අනේ ඉතින් කොහොම ද ඒවා සුව කර ගන්නට ප්‍රතිකාර කර ගන්නේ”  කියලා නේ ද?  නිවන් යන්නත් ඉතින් නීරෝගීව ඉන්න එපැයි කියලා තමන්ගේ ධනය යොදවන්නේ නීරෝගී බව රැක ගැනීම පිණිස නේද?

ප්‍රඥාවන්ත ව බලන්න මේ මහ බෝසත් කුමාරයා ගැන.  එතරම් සුඛෝපභෝගී විහරණයක වාසය කරන්නෙකුට ලෙඩ වීමක් ගැන හිතන්න වත් අවශ්‍ය ද?  ඒ වගේ තත්වයක් යටතේ ඔබ සිතනවා ද?  ලෙඩෙක් දැක්කොත් එහෙම ඒ තත්වය නො ලබා සිටින්නට තමන්ගේ ධනය වියදම් කරලා කටයුතු කර ගන්නට නේද උත්සාහවන්ත වෙන්නේ?  මයිකල් ජැක්සන් නම් ලෝක ප්‍රකට ගායකයා ගැන අහලා තියෙනවා නේද?  නීරෝගීව ඉන්න තමන්ගේ ධනය මහත් සේ වියදම් කරලා සිදු කල උපක්‍රම ගැන අහලා තියෙනවා ඇති නේ නේද? 

ඉතින් මේ බහුතරයක් පිරිස සිතන ආකාරයට සිතා කටයුතු නො කල ඒ වෙනුවට මේ “ලෙඩෙක් කියන නිමිත්ත” දුටු ප්‍රඥාවන්ත මහ බෝසත් චරිතය දකින්නට කැප වෙන්න.

මහ බෝසත් කුමාරයා හෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන් වගේ සාමාන්‍ය මනුස්සයෙක් කියලා ඔප්පු කර ගන්නට තර්ක වාද කරන අතරේ ඇත්තටම අන් අයට සමාන කරන්නට හෝ අහලකින්වත් තබන්නට හැකි චරිතයක් ද කියලා නුවණින් විමසන්න. 

එතරම් සුඛෝපභෝගී ජීවන රටාවකට යටත් නොවූ... ඒ බාහිරයේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින්නට ලැබෙන තත්වයන්  මත යැපෙන්නේ නැතිව උපන් මොහොතේ පටන් ගෙන සෑම දෙයක ම ගැඹුරක් දකින්නට ඇති හැකියාව දරා ගෙන උපන් අති සුවිශේෂී, මේ තුන් ලෝකයේ කිසිවෙකුටත් සම කරන්නට නො හැකි අසම සම මනුස්ස උපත ඔබ දකින්න ඕන.  නැත්නම් ඔබ කවදාවත් මොන කයිවාරු ගැසුවත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් වෙන්නේ නෑ. 

අන්න ඒ අසම සම වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පුංචි වයසේ දී ම “ලෙඩෙක් කියන නිමිත්ත” හෙවත් ව්‍යාධිය... රෝගී ස්වභාවය දුටු ආකාරය සුකුමාල සූත්‍ර දේශනාවේ මෙන්න මේ විදියට සාරාංශ ගත ව  තිබෙනවා.

අශ්‍රැතවත් පෘථග්ජනයා තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්‍යාධිය නො ඉක්ම වූයේ ම ව්‍යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් ම ව්‍යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරොග්‍යය නිමිති කොට යම් ආරොග්‍යමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.”

මේ කියන්නේ මොකක්ද?

සරලව ඉතාමත් කෙටියෙන් කියන්නේ ලෙඩෙක් නම් වූ නිමිත්ත දුටු අවස්ථාව ගැනයි.  සාමාන්‍ය මානසිකත්වයකින් යුතු මිනිස්සු ලෙඩ බවට පත් වූ පුද්ගලයන් දකින විට ප්‍රතිචාර දක්වන ආකාරය පවා බෝසත් කුමාරයාට ප්‍රඥාවන්ත ව නිරීක්ෂණය වී තිබෙනවා.  නිමිත්ත දකින විට මානසිකත්වයක ස්වභාවය එය යි.  තමන් “ලෙඩ බව ඉක්මවා නැති බව” ඒ කියන්නේ තමන් තුල තිබෙන්නේ ඒ ව්‍යාධියට පත් වන ස්වභාවය පමණ මයි කියන දේ නුවණින් දකිනවා.  මේ ගැඹුර අවබෝධ කර ගෙන ශාස්තෘන් වහන්සේගේ අසම සම ප්‍රඥාව දැක ගන්නට කැප වෙන්න!  නැත්නම් ඒ උතුම් චරිතය විහිළුවක් කරන්නට දායක වන්නෙක් වෙලා තමයි නවතින්නේ!