දෙවන නිමිත්තේ ගැඹුර

දෙවන නිමිත්තේ ගැඹුර

මේ සියලු දේ තුල අප මේ ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගන්නේ බාහිරයෙන් පෙනෙන තත්ව තුලින් ගන්නා තීරණ මත යැපෙන අපගේ සාමාන්‍ය අසිහියෙන් යුතු මානසිකත්වය සහ නුවණින් යථාර්ථයක් විනිවිද දැකීම පිණිස අප යොමු විය යුතු ආකාරයත් කියන කාරණා බව ඔබට දැනෙනව ද?

මෙතෙක් විග්‍රහ කල කාරණා ඔස්සේ ඔබ, ඔබ ගැන හොඳින් විමසන්න.  ඔබට දැනෙනව ද අප සම්මත කර ගත් ඇත්තක් මත යැපෙන බව. ඒ බාහිරයෙන් පෙනෙන, ඇහෙන, දැනෙන කාරණා මත අප කොතරම් යැපෙනවා ද කියනවා නම් අපට අපගේ ඇත්ත මඟ හැරෙනවා.  උදාහරණයකට බාහිරයෙන් ඔබගේ කයට සහ මන ට ලෙඩ වෙලා කියලා ඔබ විශ්වාස කරන තත්වය හෝ, රෝග ලක්ෂණ හෝ, වෛද්‍ය පරීක්ෂණ වලින් ලැබෙන සහතිකය හෝ ලැබුණේ නැත්නම්... ඔබට ඔබගේ කය සහ මන ඉතාමත් නිරෝගී අවස්ථාවක තියෙනවා කියලා දැනෙනවා නම්... ඔබට ඔබ තුල “ලෙඩෙක්” ව දැනෙනව ද?  ඔබ ලෙඩ බව ඉක්මවා නැති බව දැනෙනව ද?

උදේ පටන් රෑ නින්දට යන තුරු ම නිරෝගී බව වෙනුවෙන් වෙහෙස වන වෙහෙස වීම බලන්න.  බඩගින්නට කන කෑම ටික ගැන පවා ඔබ කොතරම් උනන්දු වෙනවද?  බඩගින්න කියන රෝගය දකිනවා වෙනුවට ඔබ නීරෝගී වීම පිණිස ආහාරයට ගන්නට හැකි ආහාර පාන වර්ග තෝරනවා නේද?  ඔබගේ ජීවිතයේ ඔබ බාහිර කාරණා මත අසිහියෙන් නීරෝගී යැයි සිතා ගත්ත තත්වයක් වෙනුවෙන් වෙහෙස වන කාලය, ඒ කැපවීම සැබෑ ම නිරෝගී කම වෙනුවෙන් යෙදෙව්වා නම් ඔබට තථාගත සත්ධර්මය අනිවාර්යයෙන් ම ලැබෙනවා. 

නමුත් නෑ... “බුදු හාමුදුරුවොත් බෙහෙත් ගත්තා... බුදු හාමුදුරුවොත් නීරෝගී වීම වර්ණන කලා... බුදු හාමුදුරුවොත් නිරෝගී ව කටයුතු කර ගන්න ක්‍රම වේද පෙන්වා දුන්නා” කියමින් තමන්ගේ අසිහියෙන් අනුවණ බවින් යුතුව අර ගෙන තිබෙන බොළඳ වූ මුලා සහගත වූ තීන්දු තීරණ ම තහවුරු කර ගනිමින් උජාරුවෙන් හැසිරෙමින් මේ ශාසනයත් මඟ හැර ගන්නවා.

අංශු මාත්‍ර හෝ නුවණක් වේ නම් අප්‍රමාදී ව මේ පෙර නිමිති දකින්නට විවර වෙන්න. එවිට අප්‍රමාදී ව සසරෙන් නිදහස් වන මාර්ගය හමු වේවි.  මේ දේවල් දකින්නේ නැතිව හදිස්සි වෙලා බණ දහම් ඇසුවාට අවබෝධ වෙන්නට අවශ්‍ය මානසික පසුතලය සකස් වෙලා නැති නිසා ඒ පෙන්වා දෙන ගැඹුරු තථාගත සත්ධර්මය හසු වෙන්නේ නෑ. 

පළමු නිමිත්තේ සේ විග්‍රහ කර ගැනීමේ පහසුව පිණිස අවස්ථා 3කින් මේ කාරණය පෙන්වා දුන්නොත්...

පළමු අවස්ථාව - ඡන්න රථාචාර්ය ඇතුළු බහුතරයක් සිටින මානසිකත්වය තමයි මේ පළමු අවස්ථාව.  පෙර විග්‍රහ කර ගත් ආකාරයට බාහිර පෙනෙන ඇහෙන දැනෙන සම්මත කර ගත් කාරණා මත යැපෙන අවස්ථාව.  එහි දී රෝගී බව කියන කාරණය අනාගතයේ සිදු වන කාරණයක් සේ තමයි දැනෙන්නේ.  නීරෝගී බවක් සහිත අවදියක් ගැන විශ්වාසයක්... තහවුරු වීමක් තිබෙනවා.  මේ තමයි සාමාන්‍ය යථාර්ථයක් විමසන්නට දක්ෂ නැති... වුවමනාවක් නැති... පැවැත්ම කෙරෙහි ම සිත තබා ගත් මානසිකත්වය.

දෙවන අවස්ථාව - නිමිති දකින අවස්ථාව.  යම් අවස්ථාවක “ලෙඩෙක්” ලෙසින් සම්මතයේ පිළිගන්න රෝගයක් වැළඳුණ කෙනෙක්, තමන් රෝගී වූ අවස්ථාවක් වේවා දකින අවස්ථාවක “රෝගී බව හෙවත් ව්‍යාධිය” කියන කාරණය විනිවිද දකින අවස්ථාව.  පැවැත්ම තුල විසඳුමක් නැති... උපන් මොහොතේ පටන් ගෙන දරා ගෙන සිටින එකම දේ රෝගී බව පමණක් ලෙසින් දකිනවා.  රෝගී බවින් යුතු කය සහ රෝගී මනස දකිනවා.  ඒ කය සහ මන වෙනුවෙන් වෙහෙස වීම නැවතී, මේ පැවැත්මේ අසාර බව දැනී විමුක්තිකාමි මානසිකත්වයක් හට ගන්නවා.  සත්‍ය සොයන්නට පටන් ගන්නවා. ගැලවීමක් සොයනවා.  නීරෝගී බව කියන සම්මත කර ගත් කිසිදු තත්වයකින් ඔබව තව දුරටත් රවටන්නට නො හැකි වෙනවා.  ඒ කිසිවකට අහු වෙන්නේ නෑ.  ඒවායේ බොරුව දකිනවා.  එවිට බාහිර වූ කය සහ මන කෙරෙහි සම්මත කර ගත්ත නීරෝගී බවක් පවත්වා ගන්නට දරන වෑයම වෙනුවට මේ පැවැත්මට උරුම මේ කියන ප්‍රශ්නයට විසඳුමක්... ගැලවීමක්... විමුක්තියක් සොයනවා.  ඒ සඳහා ඉතාමත් තියුණු සිහියක් ඇති වෙනවා.

තෙවන අවස්ථාව - එසේ විමුක්තිය සොයන්නට පටන් ගත්ත විමුක්තිකාමියාට පෙර නො ඇසූ විරූ “ව්‍යාධිය” හෙවත් “ලෙඩක්” හමු වන අවස්ථාව.  මෙයට ජරාවට පත් වීම කියන කාරණයේ ආර්ය සත්‍ය හමු වන අවස්ථාව කියලා කියන්න පුළුවන්.  මේ ඇත්ත බුද්ධ ශාසනයක සම්මා සම්බුදු කෙනෙක් හෝ උන්වහන්සේ පෙන්වා දුන්න පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ කර ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් ගෙන් හැරෙන්නට අසා ගන්නටවත් ප්‍රකට නැති තත්වයක්.  මෙන්න මෙතැන දී තමයි විමුක්තිකාමියාට... සත්‍ය ගවේෂණය කරන්නා ට... තථාගත සත්ධර්මය හෙවත් බුදු දහම ලැබෙන්නේ.  ඒ ලැබෙන තාක් අන්‍ය වූ ශාසන තුලින්... අන්‍ය වූ ක්‍රම වේද ඔස්සේ විමුක්තිය සොයනවා... ඇත්ත සොයනවා.

එසේ නම් බුදු දහමේ ගැඹුර දකින්නට කැප වෙන්න!  පෙර නිමිති දැක ගන්නට සිහියෙන් සිටින්න!