අප්‍රමාදී බවට වදනක්

  24 අප්‍රේල් 2022

“නිර්වාණ ධර්ම” සමඟ රැඳී සිටින කලණ මිතුරු ඔබට, අප විසින් නිරන්තරයෙන් යම් යම් දේ පවසනවා. 

ඒ අතර පැවැත්ම තුල, ලෝකය අගය කරන... ලෝකයේ ඇලෙන ගැටෙන බැඳෙන වැඩපිළිවෙළ අගය කරන බහුතරයක් පිරිස කියන, කරන, සිතන ආකාරයට නො සිතා, ඒ කාරණා කෙරෙහි ධර්මය මුල් කර ධර්මයට අනුව ගලපා දකිමින් කටයුතු කර ගන්නේ කොහොමද කියලා අපට වැටහුණු පමණින් පෙන්වා දෙනවා. 

සිතට එකඟ ව කටයුතු කරන්නේ නැතිව ධර්මයට එකඟ ව කටයුතු කල යුතු බවත්, සුළු මාත්‍ර වරද පවා දකිමින් කටයුතු කල යුතු බවත් සම්බුදු ඔවදනට අනුව බෙදා ගන්නවා. 

ඇයි ඒ? කාට ද මේ කියන්නේ?

මොහොතකට හෝ නිවෙන්නට කැමතියි... දුකෙන් මිදෙන්නට කැමතියි... ධර්මයේ හැසිරෙන්නට කැමතියි... මේ අනාථ සසරෙන් මිදෙන්නට ඕනෑ යැයි... ඔබ ම අප සමඟ පවසා ඇති නිසාම තමයි මේ කියන්නේ.  ඒ කියමන කිව්වේ අවංකව ම නම්, නිවන් මඟට බාධා වන තමන්ට එකවර හසු කර ගන්නට නො හැකි, අංශු මාත්‍ර හෝ අඩුපාඩුවක් යමෙක්‌ සිහිපත් කර දෙන විට, එය තමන්ට ලැබූ ලාභයක් ම බව හදවතට දැනේවි.  අපට නම් එය එසේ මැයි! 

පැවැත්ම කියන්නේ අවුල් ජාලාවක්... ගිනි ජාලාවක්... එහි අවමයෙන් හෝ නො දැවී ඉන්නවා කියන්නේ, එය පුදුමාකාර දක්ෂ කමක්. 

පැවැත්ම තුල යම් ප්‍රශ්න යැයි කියා ගන්නා දේවල් ප්‍රකට වෙලා තියෙන කාලෙක දී, ධර්මය අහන්න කැමතියි කියන ඔබට ම, ධර්මය මහා හිසරදයක් වෙනවා නම්... “මේ වෙලාවේ බණ කියන්න එන්න එපා” කියලා කියන්නට හිතෙනවා නම්... ඉඟියකින් හෝ හඟවනවා නම්... ඔබ ගේ බණ ඇසීමත් ඉතින්, “කරන්නට වැදගත් වැඩක් නැති වෙලාවට, ලෝකයාට පෙනෙන්නට, තමන්ගේ සිත සතුටු කර ගන්නට, කාලය ගෙවා දමා ගන්නට”, අහන බණ වගේ නේද?  

ඉතින්, ලෝකයක් ම ඉහළින් අගය කරමින්, දැවෙන විට... පොර කන විට... ලෝකය තුලින් ම විසඳුම් සොයමින් ඒ විසඳුම් අගය කරමින් කටයුතු කරන විට... එසේ නොවී, ඒ රැල්ලට ගසා ගෙන යන්නේ නැතිව තමන්ට අවශ්‍ය යැයි පැවසූ විමුක්තිය පිණිස කටයුතු කර ගන්නට කැප වෙන්නට යැයි අප සිහිපත් කරන විට... 

“ඇයි අපිට ම කියන්නේ? ලෝක සම්මත වැරදි කරුවන්ගේ වැරදි පේන්නේ නැද්ද... ලෝක සම්මත නිවැරදි කරුවන්ට අනුකම්පා කරන්නේ නැද්ද...? මේ වෙලාවේ ඒ අය වෙනුවෙන් පෙනී සිටිය යුතු නොවේ ද?” යැයි අපෙන් විමසුවාට ඵලක් නෑ. 

අපට කියන්නට තියෙන්නෙත් “නපුරු වූ සිත් ඇති කිරි මවකගේ වස්ත්‍රයක් සේ කිලිටි සිත් දරා ගෙන ධර්මයට එකඟ ව කටයුතු කරන්නට තවමත් සූදානම් නැති බහුතරයකට පවසන්නට වදන් අප ලඟ නැත” කියලා තමයි.

“නිර්වාණ ධර්ම” වදන් සියල්ල ම අතිශයින් ම ලෝකෝත්තර මඟ විවර කර ගන්නට කැමති, නිවෙන්නට කැමැත්තෝ උදෙසා ම පමණයි!