රෞරවය නරකය

රෞරවය නරකය

අටමහා නරකයන්හි හතරවැනියට තිබෙන්නාවූ "රෞරවය" නම් වූ මහා නරකය පිළිබඳවත් ඒ දුක නිරෝධ කරගන්නා ආකාරය පිළිබඳව කතා කරන්නට කටයුතු කරන්නම්.  සුපුරුදු පරිදි විවෘත මනසකින් යුතුව මේ සසර පැවැත්මේ රුදුරු බව වටහාගෙන වහ වහා අප‍්‍රමාදීව ඒ වැනි අසාර පැවැත්මකින් මිදී යාම පිණිසම උපකාර කරගැනීමේ අරමුණින් යුතුවම කියවීමට ආරාධනා කරමි.
මෙම අපායෙහි තිබෙන ගිනි කෙතරම් රස්නය දැයි කිවහොත් සියක් යොදුනක් දුරින් සිට බැලූවත් ඇස් පුපුරා යන තරම් දරුණුය. එහි උපදින නිරිසතුන්ගේ දෑස්, දෙකන්, නාස්පුඩු, කට සහ මළ මුත‍්‍ර මාර්ග මගින් ගිනිදැල් ඇතුළු වී දැවි දැවී දුක්විඳිනවා.  මේ නරකයෙහි සත්ත්වයන් ගේ සිරුරු තුළට වැදී ඇතුළත දවන්නා වූ නපුරු වූ දුමක් ද තියෙනවා.  ඇතුළතින් පිටතින් දෙපසින්ම දැවෙමින් වේදනාවෙන් හඬන පිරිසට තමයි ඔබත් හේතු හැදුවොත් එකතු වෙන්නේ.  ඉතින් ඒ නිරි සතුන් ගේ හඩ නිරතුරු ව එහි ඇසෙන බැවින් තමයි එයට රෞරව නරකය යැයි කියන්නේ.

තරහෙන් පුම්බාගෙන ඉන්න මිනිසුන් සිටිනවා.  නිතරම පාහේ රෞද්‍ර ගති ඇතිව ඔරවාගෙන රවාගෙන ඇතුලත කෝපයෙන් පිරුණු මේ මිනිසුන්ට ඒ ගොඩනඟන සංකාරයන්ට අනුව ලැබෙන පරිසරය තමයි "රෞරවය" කියලා කියන්නේ.  සමහර මිනිසුන් දැක්කාම ඒ අයට තරහා ගිහින් තිබෙන ස්වභාවය දුටු විට ඇතුලතින් රත්වෙලා දුම් දමනවාත් ඇතැයි කියලා සිතෙන වාර ඔබටත් අනන්ත වාරයේ අත්දැකගන්නට හැකිවෙලා ඇති.  අන්න එවැනි රෞද්‍ර ගති පැවතුම් ඇතිව සිත කය වචනය හසුරවීම පුරුද්දක් වී ඇතිනම් මතු රෞරවය නමැති අටමහා නරකරයන්ගෙන් එකකට පත්වීමට මාර්ගය පාදාගෙන තිබෙනවා විය හැකියි.  ඇයි මේ රෞද්‍රකම් අපේ සිත් වල ඇතිවෙන්නේ?  මේ රෞද්‍රකම් වලින් මිදෙන්න ක‍්‍රමයක් තියෙනවද?  

කොහොමද අප මේ භයානක අනතුරින් මිදෙන්නේ?

මේ සියලූ අනතුරු වලින් මිදීමට, රෞද්‍රකම් නැතිකර ගැනීමට අප විසින් අපට නොපෙනෙන ලෝකය නුවණින් දැකගත යුතු වෙනවා.  පෙර නොඇසූ විරූ දහම දැකගත යුතු වෙනවා.  ඔබට අවිද්‍යාව නිසාවෙන් නිර්මාණය වී තිබෙන්නාවූ ලෝකය දැකගැනීමට බොහෝම ප‍්‍රඥාවන්තව විමර්ශනය කර බැලීමට ඔබට සිද්ධ වෙනවා.  බහුතරයක් පිරිස සිතාගෙන සිටින්නේ තිබෙන්නාවූ ලෝකය ඉපදී තිබෙන්නාවූ ලෝකයක ජීවත්වී ලෝකය තියෙත්දී අප මරණයට පත්වී ඉන් ඉවත්වී යනවා ලෙසටයි.  ඒත් සැබෑව නම් යමෙකුගේ ඉපදීමත් සමඟ ලෝකයද පහල වී මොහොතක් මොහොතක් පාසා ලෝකයද ගොඩනැගී මරණයට පත්වන විට නිර්මාණය කරගත්තාවූ ලෝකයත් ඒ සමඟින්ම විනාශ වී යනවා යන්නයි.  අවිද්‍යාව ඇතිතාක් මේ සිදුවීම සිද්ධ වීම සංසාර පැවැත්ම ලෙසින් හඳුන්වන්නට හැකියි.  
මේ සත්ධර්මය තුල විස්තර කරන්නාවූ ලෝකය ඉතාමත් කෙටියෙන් හඳුන්වා දෙනවා නම් ඔබ විසින් වටිනාකමක් දී වෙන් කොට ගත් ඇස, කණ, දිව, නාසය, කය, මන යැයි සලකන "මම" ලෙසින් හඳුනාගෙන ඇති  කොටසත් ඒවාට ගෝචර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ලෙසින් "මගේ" ලෙස වෙන් කොට ගත්තාවූ කොටසත් අවිද්‍යාව ඇති තාක් ඔබ විසින් ඔබේම මනසින් නිර්මාණය කරගන්නාවූ ලෝකය ලෙසින් හඳුන්වා දෙන්නට හැකියි.

අතිදුර්ලභ මිනිස් ජීවිතයක් ලබාගෙන ඇති ඔබ මේ වන විට මේ වගේ ලිපියක් කියවමින් උත්සාහවන්ත වන්නේ එහි අදහස සමහර විට මේ අතිභියකරු සසර පැවැත්මෙන් මිදෙන ක‍්‍රමයක් ඔබ සොයමින් සිටින නිසාවෙන් විය හැකියි.  එවැනි වටිනා මිනිස් භවක් ලබා ඇති ඔබ බොහෝම පින්වන්තයි.  ඒ නිසා ඒ පින්වන්තකම උපයෝගීකරගෙන, ඔබට වැඩියෙන්ම දුකක් හෝ සතුටක් ලැබෙන්නේ කුමන ආකාරයේ දේවල් වලින්දැයි කියලා දැන් ඉතාමත් ප‍්‍රඥාවන්තව හිතලා බලන්න.  

ඔබට මේ වෙලාවේ නොදන්නා ග‍්‍රහලෝකයක සිද්ධ වෙන දේවල් වලින් සතුටක් හෝ දුකක් ලැබෙනවද?  ඔබට මේ වෙලාවේ ඔබ නොදන්නා රටක සිද්ධ වෙන දේවල් වලින් සතුටක් හෝ දුකක් ලැබෙනවද?  ඔබට මේ වේලාවේ ඔබ නොදන්නා පිරිසක් හෝ පුද්ගලයෙක් කරන කියන දේවල් නිසාවෙන් සතුටක් හෝ දුකක් ලැබෙනවද?  එහෙනම් කාගෙන්ද ලැබෙන්නේ?

එකින් එක හොඳින් හිතලා බලන්න...

පෘථිවිය නම් වූ මේ අපේය කියන ග‍්‍රහලෝකය හෙවත් බහුතරයක් ලෝකය ලෙසින් දකින්නාවූ ලෝකය විනාශ වෙනවාය කියලා දැනගතහොත් වෙන නොදන්නා ග‍්‍රහලෝකයක් විනාශ වෙනවාට වඩා දුකයි නේද? පෘථිවියේත් නොදන්නා රටක විනාශයක් දැනගන්නවාට වඩා දුකයි නේද අපේය කියන මගේ රටය කියන මේ ලංකාවේ විනාශයක් සිද්ධ වෙන බව දැනගැනීම? ලංකාවේත් නොදන්නා පලාතක සිද්ධ වෙන විනාශයකට වඩා හිතට වැඩියෙන්ම දුකක් දැනෙන්නේ තමන් ඉන්න පලාතේ විනාශයක් ගැන දැනගැනීම නේද? තමන් ඉන්න පලාතේ සිද්ධ වෙන විනාශයට වඩා දුකක් වේදනාවක් දැනෙනවා ඒ විනාශය සිද්ධ වෙන්නේ තමන්ගේ නගරයේ නම් එහෙම නේද? තමන්ගේ නගරයේ සිද්ධ වෙනවාට වඩා දුකක් අසහනයක් දැනෙන්නට ගන්නවා ඒ විනාශය තමන්ගේ නිවසට ආසන්නයේ සිද්ධ වෙනවා කියලා දැනගතහොත් එහෙම නේද? තමන්ගේ නිවස අහල පහලට සිද්ධ වෙන විනාශයට වඩා දුකක් අසහනයක් කම්පාවක් සිතට දැනෙනවා ඒ විනාශය තමන්ගේ නිවසට සිද්ධ වෙනවා නම් එහෙම නේද? තමන්ගේ නිවසට සිද්ධ වෙන විනාශයට වඩා දුකක් ඇතිවෙනවා තමන්ට සිද්ධ වෙන විනාශයක් ගැන දැනගන්නට ලැබුණොත් එහෙම නේද?

අපි දැනට ලෝකය කියලා හඳුනාගෙන ඉන්න ලෝකයේ ඉන්න සත්වයින්ගේ කොච්චර නම් ඇස් තියෙනවාද?  ඒ ඇස් වලට අනතුරක් වුණාට අපිට දැනෙන්නේ නෑ... දුකක් නෑ... අසහනයක් කම්පාවක් නෑ... ඒත් ඒ ලෝකය අපේ කියලා අපි කියනවා... අපේ ලෝකයක් නම් ඒ ලෝකයේ තිබෙන්නාවූ සියලූම ඇස් නිසාවෙන් දුකක් කම්පාවක් අසහනයක් අපට ඇතිවුනේ නැත්තේ කොහොමද?  මේ ලෝකයේ තමන්ට හිතවත් කියන්නාවූ තමන්ට ලංව සිටින්නාවූ සත්ව පිරිසකට අයත් ඇස් වලට සිද්ධ වන අනතුරක් නිසාවෙන් තමන්ට දුකක් අසහනයක් කම්පාවක් ලැබෙනවා.. එහෙනම් ඒ වෙනස ඇතිවුනේ කොහොමද?  යමක් නිසාවෙන් දුකක් අසහනයක් කම්පාවක් හෝ සතුටක් වින්දනයක් ආශ්වාදයක් ලැබෙනවා නම් අන්න එතැන ඔබගේ ලෝකය නිර්මාණය වී තිබෙනවා.  

ඔබත් මමත් අවිද්‍යාව ක‍්‍රියාත්මක වන්නාවූ සියලූම සත්වයෝ තමන්ටම කියලා පුංචි ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා... තමන්ට දුක සතුට ගෙනදෙන්නේ ඔන්න ඔය කියන තමන් විසින් ගොඩනගාගත්ත ලෝකය තුලදියි.  ලෝකයේ කොපමණ මරණ තිබුනත් ඒ සියලූ මරණ ඔබට දුක ගෙන නොදුන්නේ ඒ මරණ තමන් ගොඩනගාගත්ත ඔය කියන පුංචි ලෝකයට අදාල නොවන නිසයි.  ලෝකයේ කොපමණ ලෙඩවීම්, මහලූවීම් තිබුණත් ඒ දේවල් ඔබට දුක ගෙන නොදුන්නේ ඒ ලෙඩවීම් මහලූවීම් තමන් විසින් ගොඩනගාගත්ත ඒ පුංචි ලෝකයට අදාල නොවන නිසයි.  

"මම" කරගත්ත "මගේ" කරගත්ත අවිද්‍යාව මුල්වී නිර්මාණය වූ මේ ලෝකය තනිකරම රඳා පවතින්නේ වින්දනය මුල්කරගත්ත ආශ්වාද බලාපොරොත්තුව මතයි.  ඇස, කණ, දිව, නාසය, කය සහ මන යන දෑට වටිනාකමක් දෙන්නට සිත්වුණේ ඒ දේ තුලින් ගෝචර වූ ඒවා තුලින් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන දත්තයන් බොහෝම ආශ්වාදයක් ලබා දුන්න නිසයි.  ආශ්වාදයට රැුවටිලා ඒ ආශ්වාදය ලබන්නට යෑම නිසාම "මම" කියන කොටසට "මම" කියන හැඟීම තව තවත් වර්ධන වෙනවා. ඒ වැඞීමත් සමඟින්ම තව තවත් "මගේ" කරගන්න කැමැත්තක් ඇතිවෙනවා. බලාපොරොත්තුවක් ඇතිවෙනවා. "මම" පවත්වාගන්නට  ඕන නිසාම "මගේ" ගොඩත් වැඩි කරගන්නවා.

මෙන්න මේ නිර්මාණය කරගත්ත ලෝකයේ නිසි ලෙසින් නොහඳුනනා නිසාම "මම" ලෙසින් "මගේ" ලෙසින් රැස්කරගෙන රැකගන්නට සිත කය වචනය මෙහෙයවනවා.  ඒ මෙහෙයවීම විටෙක ආශ්වාදයෙන් මත්වෙලා ඇලීමෙන් රාගයෙන් යුතුව සිද්ධ වෙන ක‍්‍රියාවලියක්.  ඒ තුල සතුටක් අත්දකිනවා.  තවත් විටෙක ඒ තත්වය ගිලිහී යාමේ භිය අසහනය දුක කම්පාවන් ගැටීම් ඇතිවෙනවා.  තරහාවෙන් ද්වේශයෙන් රෞද්‍රකම් වලින් පිරී ඉතිරී යනවා.  ඒත් මේ සියලූ හපන්කම් කරන්නේ ලෝකය නිසි ලෙසින් නොදැක වරදවා ගත්ත වැටහීමක් නිසාවෙනුයි.  ඒ වරදවා ගත්ත වැටහීම නිවැරදි වූ දිනයේ පටන්ගෙන මහ අනතුරකින් මිදෙන්නට හැකියාවක් ලැබෙනවා.  තෙරුවන් සරණින් නොපෙනෙන ලෝකය නුවණින් දැකගැනීමට මේ ලිපි පෙල අංශු මාත‍්‍ර වශයෙන් හෝ උපකාරයක්ම වේවා!!!