සංඝාත නරකය

සංඝාත නරකය

අටමහා නිරයන්ගේ තෙවැනුව තියෙන්නේ "සංඝාතය" නම් වූ නිරයයි... තත්වය එන්න එන්නම දරුණු වෙනවා... "සංජීව / සඤ්ජීව" නිරය හෝ "කාලසූත‍්‍ර" නිරය මෙන් නොවෙයි... එන්න එන්නම දැවීම දුක අසහනය භියකරු බව වැඩිවෙනවා... "සංඝාත" නිරයේ උපන් අයට හැඟෙන්නේ හාත්පස සිව් දෙසින් ම තල්ලූ වී එන විශාල ගිනියම් පර්වතයකින් තොරතෝංචියක් නැති ව පොඩි පට්ටම් වී යන ලෙසිනුයි.  "සංඝාත" යන නම යෙදී ඇත්තේ ද "අඹරා පොඩි කරන" යන අදහසින් බව ධර්ම පොත පතෙහි දැක තිබෙනවා.  විශාල පිරිසක් සමූල ඝාතනය කල පිරිසට විපාක විදීමට සැකසුණු පරිසරය යන අදහසින් "සංඝාත" කියන නම යෙදී තියෙනවාය කියලා තවත් ගැඹුරින් අර්ථ දැක්වූ ධර්ම අර්ථ අතර දැක තිබෙනවා.

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිනවා කියලාත් ධර්මයේ සඳහන් වෙනවා.  එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙනවා.   ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසිණු වෙලා යනවා.  ඒ විතරක් නම් මදැයි ගින්නෙන් දැවෙන්නට සිද්ධ වෙනවා... මහා ලෝදිය ගංගාවක් ශරීර දවාලමින් ගලාගෙන යනවා... මේ ලෝදිය ගංගාවට හසුවෙලා මර හඬ දෙමින් කෑගහත්දී ඒ ලෝදියෙන් තැම්බිලා පිච්චිලා යන්න සිද්ධ වෙනවා... කොතරම් මර හඬ දුන්නත් අදෝනා නැගුවත් බේරගන්නට නම් කව්රුවත් එන්නේ නෑ... පව් කලා වගේ නෙවේය ඒවාට විඳවන්න ගියාම සිද්ධ වෙන දේ තේරුම්ගන්නට අංශු මාත‍්‍ර වශයෙන්වත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා නම් ඔබ බොහෝම වාසනාවන්තයි. 

"සංඝාත" නිරයට පත්වෙන්නට සිද්ධ වෙන්නේ ඇයි? 

විශාල වශයෙන් පිරිස් සමූල ඝාතනය කරන්නට එකතු වුනොත් අනුබල දුන්නොත් ඒ අනුව සිත, කය, වචනය හැසිරවීම මේ නිරයට පත්වීමට හේතු වෙනවා.  ඒ විතරක් නෙවේ එකමුතුව සිටින සංඝයා වහන්සේලා භේද භින්න කරවමින් භික්ෂුන් වහන්සේලා අතර ඇති සමගිය නැති කරන්නට කටයුතු කිරීමත් මේ නිරයට පත්වීමට හේතු වෙනවා.  "ආ හේතු මේවාද හේතු... මම නම් මේවා කරන්නේ නෑ... මම සංඝාත නිරයට නම් යන්නේ නෑ" කියලා ඔබ තීරණය කරනවා නම් එය එතරම් ගැලපෙන කටයුත්තක් නොවේ.  මන්ද මෙවැනි දේ කියන්නට, කරන්නට, හිතන්නට අවශ්‍ය කරන මූලික හේතු තවමත් ඔබ ලඟ සැඟවී හෝ තිබෙනවා විය හැකියි.  මෙම අත්බැවය අවසානයේ යන්නට සිද්ධ නොවුනත් මේ සසර පැවැත්මේ යන්නට බලාපොරොත්තු වන ඔබට මොන යම් හෝ අවස්ථාවක මේ "සංඝාත" නිරයට පත්වීමට ඇති හේතු මුල්වෙලා සිත, කය, වචනය භාවිතයෙන් කටයුතු සිද්ධ වී ප‍්‍රතිඵල ලැබිය හැකියි.  එහෙනම් ඔබට තවමත් සතුටු විය නොහැකියි!

හේතුව මුලින්ම සොයාගත යුතුයි.  මුලින්ම උදුරා දැමිය යුතුයි.  ගසක අතු රිකිලි කපා දැමුවාට කඳ මුලින්ම කපා දැමුවාට ඒ ගස නැවත දළුලා ලියලන්නේ නැතිවෙයි එය විනාශ කලාය කියලා සතුටු විය නොහැකියි.  මන්ද ඒ ගස නැවත ලියලා දළු දැමීමට අවශ්‍ය කරන පෝෂණය දෙන්නාවූ මුදුන් මුල සහිත මුල් පද්ධතිය තවමත් තිබෙන නිසාවෙනි.  අන්න ඒ වගේ නිර්වාණ මාර්ගය අවබෝධ නොකරගන්නා තාක්... ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්නොවන තාක් ඔබ තුලත් මේ සසර පැවැත්මේ "සංජීව, කාලසූත‍්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, ප‍්‍රතාපය සහ අවීචිය" වැනි අටමහා නරකයන්ට පත්වීමටත්, ඔසුපත් නරකයන්ට පත්වීමටත්, පේ‍්‍රත අසුර අපායන්ට පත්වීමටත්, තිරිසන් අත්බැවයන් ලැබීමටත් දේව බ‍්‍රහ්ම මනුස්ස අත්බැවයන් ලැබීමටත් ඔබට හේතු තියෙනවා.   රාගය, ද්වේශය, මෝහය නම් වූ පෝෂණය ලබාදෙන මූල පද්ධතිය ඔබ තුල තිබෙන තාක් නොයෙක් නොයෙක් අත්බැවයන් ලියලා දළු ලමින් දුකට පත්වීම උරුම කරගෙන සිටිනවා.  එසේනම් බුද්ධිමත්ව විවෘත මනසකින් ඒ හේතු මුලිනුපුටා දැමීමේ ක‍්‍රමය තෝරාගත යුතු වෙනවා. 

පෙර ලිපියේදී පෙන්වා දුන්නා මතකද ඔබ කව්රුන් වුණත් ඔබගේ මනස හඳුනාගැනීම ඉතාමත් වැදගත් කියලා?  යමෙකුට පණ දෙන්නෙත්, ඝාතනය කරන්නෙත්, සමූහයක් ඝාතනය කරන්නෙත්, හිත මිත‍්‍රකම් ඇතිකරගන්නෙත්, භේද බින්නකම් ඇතිකරන්නෙත්, යහපත් දෑ අයහපත් දෑ මේ කුමන දෙයක් කරන්නෙත් තම තමන්ගේ මනස හඳුනානොගන්නාතාක්ය කියලා කිව්වොත් නිවැරදියි. තවත් ආකාරයකට කියනවා නම් ඔබ ඔබගේ මනස හඳුනා නොගන්නා තාක් ඔබ ලෝකය නිසි ආකාරයෙන් තෝරාගන්නේ නෑ.  ලෝකය නිසි ආකාරයෙන් තෝරාගත්තේ නැතිනම් ඔබට මේ අපා දුක් වලින් තබා කිසිදු ආකාරයක දුකකින් මිදීමට නොහැකි වෙනවා.  මතකයි නේද පෙර ලිපියේදී මේ දේවල් කෙටියෙන් විස්තර කරගත්තා?

මේ සියලූ දේට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ ලෝකය වටහානොගැනීම නම් ඒ ලෝකය තෝරානොගන්නා තාක් ඔබට ඒ ලෝකය තුල දුකට පත්වීමට සිද්ධ වෙනවාම නම් කුමක්ද මේ ලෝකය?  ඉතාමත් කෙටියෙන් මෙසේ සටහන් තබන්නට පටන්ගන්නම්...

බාහිර වූ "පෘථිවිය" නම් වූ ලෝකය තුල 6,885,500,000 මිනිසුන් ප‍්‍රමාණයක් අතර,  මෙතෙක් යැයි කියලා කියන්නට නොහැකි තරම් තිරිසන් සතුන් අතර, ගස්වැල්, බඩු භාණ්ඩ, යාන වාහන,  ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, නගර ගම්මාන ආදී එකී නොකී මෙකී සෑම සියලූ දේම ඔබ විසින් දැනට ලෝකය ලෙසින් හඳුනාගෙන සිටිනවා එහෙම නේද?  ඉතින් බහුතරයක් මිනිසුන් දකින ලෝකය තමයි මේ බාහිරවූ ලෝකය. ඒ ලෝකය තුල විද්‍යාමාන වන ඉපදීම, ලෙඩවීම, මහලූවීම, මරණය ආදිය ඒ අය දකිනවා. එය දුකක් ලෙසට වටහාගන්නවා. අත්දකිනවා. 

ඔබත් ධර්මය තුලින් ලෝකය ලෙසින් දැක ඇත්තේ මෙයමද?  එහෙනම් ප‍්‍රවේශම් විය යුතු වෙනවා. තවමත් සතර අපාගත දුකට සහ සියලූ සසර දුකට පත්වීමට හේතු ඔබ තුල තිබෙනවා.  මන්ද පෙර නොඇසූ විරූ ලෝකය හෝ ඒ නිසාවෙන් හටගන්නා දුක හෝ ඒ පෙර නොඇසූ විරූ ඉපදීම, ලෙඩවීම, මහලූවීම, මරණය ආදී දෑ ඔබ නොදකින නිසාම දිගින් දිගටම දුකට පත්වෙනවා. මිදීමක් නොදැක සැබෑ සතුටක් නොදැකම ඒවාට මුහුණ දෙමින් සිටිනවා.  "සංජීව, කාලසූත‍්‍ර, සංඝාත..." වැනි අටමහා නරකයන්ට පත්වෙනවා...

ලෝකයේ හැම කාලයකදීම පෙර ඇසූ විරූ දහමක් තියෙනවා. ඒ තමයි ඉපදීම, මහලූ වීම, ලෙඩවීම, මරණය "දුකක්" ලෙසින් හඳුනාගැනීම.   පෙර සටහන් කල බාහිර වූ ලෝකයක විද්‍යාමාන වන ඒ ඒ දුක් ස්වභාවයන් දැකගැනීම.  ඒත් ඔබට වැටහෙනවා ඇති එය පෙර නොඇසූ විරූ ලෝකයක් හෝ ධර්මයක් හෝ දුකක් හෝ නොවන බව.  ඔය ටික දුකයි කියලා  ඕනෑම කෙනෙකුට වැටහෙනවානේ නේද?  කවදාවත් බණක් අහපු නැති කෙනෙක්ගෙන්, අන්‍ය ආගමිකයෙක්ගෙන්, කුඩා දරුවෙක්ගෙන් පවා ලෙඩවීම දුකක්ද මරණයට පත්වීම දුකක්ද ඇහුවොත් "ඔව් දුකයි" කියලා කියාවි නේද?  එහෙනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ දුක ගැනම කියාවිද? 

අන්න ඒ නිසා බුද්ධිමත්ව විවෘත මනසකින් විමර්ශනය කරන්න.  "සංජීව, කාලසූත‍්‍ර, සංඝාත..." ආදී වු යම් අටමහා නරකයක් වේ නම් පේ‍්‍රත අසුර දේව බ‍්‍රහ්ම වැනි යම් නොපෙනෙන ලෝකයක් වේ නම් ඒවායේ සැඟවුණු යථාර්ථය දැකගන්නට හැකිවෙන්නේ මේ පොත පත වල ලියවුණු ඒ ඒ අපාදුක මෙහෙමයි මේ මේ අපායන් මෙහෙමයි ආදී කියන්නාවූ දත්තයන් තුලින් නම් නොවෙයි.  එය දැනෙන්නේ සත්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අවබෝධයෙන්මයි.  

ඉතින් නොපෙනෙන ලෝකය විවර වීමට සැඟවුණු යථාර්ථය මතුවීමට ඔබට තෙරුවන් සරණ නොඅඩුව ලැබේවා!!! නිවී සැනසීම පිණිසම මෙම ලිපිපෙල ඔබ සැමටම උපකාරයක්ම වේවා!!!