අනුන් මත යැපෙන්නට ගියොත්

  04 මැයි 2013

ගිහි පරිසරයක ඉන්නකොට කථා කරන්න ප්‍රලාප කියන්න වෙනවානේ කියලා එයටම යෙදෙන එක නෙවේ විය යුත්තේ.  ටික දවසක් කතාව අඩු වන විට ඉන්පසුව බාහිර ලෝකයා ඔබව ඒ ආකාරයෙන් සම්මත කරගනීවි.  ටික දවසක් උත්සව සාදයන්ට සම්බන්ධ නොවී ඉන්න විට බාහිර ලෝකයා ඔබට ඒ ආකාරයෙන් සම්මත කරගෙන ඒ ආකාරයෙන් සලකාවි.  ඉතින් තමන් තුල අධිශ්ඨානය ධෛර්ය මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාවද තිබිය යුතුයි.  අන්න එවිට හැකියාවක් ලැබේවි ගිහි පරිසරයක නෙවේ ඕනෑම ආකාරයක පරිසරයක ඉදගෙන තමන්ගේ සිත රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මුදවාගෙන නිවී සැනසීම ලබන්නට. 

ඉතින් මුලින්ම තේරුම් ගන්න මේ තමන් ඉන්නා පරිසරයේ ඉදලා තමන්ට නිවීමක් සැනසීමක් ලබාගන්නට බැරිවෙලා තියෙන්නේ ඇයි කියලා?  ඇයි "මට බෑමයි" කියලා හිතෙන්නේ කියලා තමන්ගෙන්ම විමසා බලන්න.  ඉතින් පිටතට යොමුවෙච්ච බාහිර පුද්ගලයන්, සත්වයන්, ද්‍රව්‍යයන්, වස්තූන් මතට යොමුවෙච්ච සිත තමන්ගේ වෙතට යොමු කරගන්න.  බාහිර සත්ව, පුද්ගල, ද්‍රව්‍යන්, වස්තූන් කෙරෙන් සතුට හොයන සිත තමන් කෙරෙහි අවනත කරගන්න. 

ටිකක් හිතලා බලන්න තමන්ට අනුන් මත යැපෙන්නට ගියොත් සිද්ධ වෙන දේ මොකක්ද කියලා.  කුඩා දරුවෙක් මහලු බවට පත්වූවෙක් ගැන හිතලා බලන්න.  සමහරවිට වැසිකිලියට යන්න පවා තවත් කෙනෙක් මත යැපෙන්නට සිද්ධ වෙනවා.  ඒ බාහිර පුද්ගලයා සහාය නොදුන්නොත් දුකට පත්වෙනවා එහෙම නේද?  ඉතින් මෙන්න මේ වගේ ක්‍රමයෙන් සියුම් අවස්ථාවන්ට එනතෙක් සොයා බලන්න.  විමර්ශනය කරලා බලන්න.  තමන් සතුටුවීමට අනුන් මත යැපෙන්නට තබාගතහොත්? 

ඒ කියන්නේ උදාහරණයකින් මෙහෙම හිතන්න.  බිරිදක් හෝ සැමියෙක් තමන්ගේ සතුට බිරිද මත හෝ සැමියා මත තිබෙනවා කියලා තීරණයක් ගන්නවා.  එතකොට දෙමව්පියන් දරුවන් මත හෝ දරුවන් දෙමව්පියන් මත මේ ආකාරයට සැමවිටම බාහිර පුද්ගලයෙක් මත තමන්ගේ සතුට තීරණය කරගන්නට කටයුතු කරනවා.  දැන් බාහිර පුද්ගලයා හැමවිටම තමන්ව සතුටින් තියයිද නැත්ද?  තමන්ට සතුට දීමට ඔහුව පාලනය කරනවාට වඩා පහසු නැතිද තමන්ට සතුට දීමට තමන්ව පාලනය කරගන්නට පුරුදු කරගැනීම? තමන්ට ඕන වෙලාවට තමන්ගේ අත හසුරවන එකද පහසු තමන්ට ඕන වෙලාවට බාහිර පුද්ගලයෙක්ගේ අත හසුරවන එකද පහසු?