කෙලෙස් මට්ටම්

  04 මැයි 2013

ඉතින් අනතුර ඇතිවෙන්නේ තමන්ගේම සිත තුල නම් ඒ සිත හදාගන්නට සකස්කරගන්නට බාහිර පරිසරයක් ගැන සිතමින් හෝ තවත් කෙනෙක් කියන්නා වූ ක්‍රම වේදයක් වත් පිලිවෙතක් ගැන සිතමින් හෝ තැවෙන්නට අවශ්‍ය නැති බව තමන්ටම වටහාගන්නට හැකියාවක් ලැබෙනවා.  ඉතින් භාවනාවක් ලෙසින් යම් ක්‍රමයක් හදාගෙන ඒ දේට මේ මේ ආකාරයට වේලාවක් තිබිය යුතුයි මේ ආකාරයේ තැනක් තිබිය යුතුයි මේ ආකාරයට ඇඳගෙන සිටිය යුතුයි මේ ආකාරයට වාඩිවිය යුතුයි ආදී ලෙසින් බොහෝ දෑ සම්මත කරගෙන නීතිගත කරගෙන කොතරම් නම් රාමුවක් හදාගෙන තියෙනවාද කියලා තම තමන්ගෙන්ම අසා බැලිය යුතු වෙනවා.  භාවනාව ජීවිතය වුණොත් ඒ භාවනාව ජීවිතයම කරගැනීමේ අරමුණ සිත, කය, වචනය රාගයෙන් ද්වේශයෙන් ඉවත්කරගැනීම වුණොත් ලැබෙන හැම අරමුණක්ම ඒ වෙනුවෙන් උපකාර කරගන්නට හැකියාවක් ලැබෙනවා.  කොතැනක හිටියත් කව්රුන් සමග හිටියත් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ. 

මම කලිනුත් කිව්වනේ ගිහි පරිසරයක ඉන්න විට අනෙක් පිරිස තමන්ගෙන් බලාපොරොත්තු වන දේ බහුලයි කියලා.  ඉතින් තමන්ගේම අවට විමර්ශනය කරලා බලන්නකෝ තමන්ගේ පිරිසත් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතිද කියලා.  දැන් ඉතින් ගිහි පරිසරයක ඉදලා ආර්ය මාර්ගය වඩාගන්නට ඒ කියන්නේ නිවීම පිණිස සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නට ඔබට මූලිකවම අවශ්‍ය කරන්නේ ධෛර්යයි.  අධිශ්ඨානයයි.  කෙනෙක් තමන්ව කොතරම් පහත් කරලා කතා කලත් බැන වැදුනත් නොසැලී සිටින්නට හැකි මානසිකත්වයක් තමන් දන්නා ධර්මයක් භාවිතා කරලා ගොඩනගාගැනීම වැදගත් වෙනවා.  ඇයි ඒ?

නිතර දුරකථනයෙන් කථා කොට කෑවද බිව්වද හොඳින් ඉන්නවද කියලා අහන්නේ නැතිවුණාම, නිතර නිවෙස් වලට ගොස් සැපදුක් සොයා බලන්නේ නැති වුණාම, අසනීප වුණාය කිව්වට වැඩිය ගණනක් ගන්නේ නැතිවුණාම, කෙනෙක් මළාය කිව්වට අධික වූත් විශේෂ වූත් දුකක් කම්පාවට පත්වීමක් සිදුනොවෙන විට ඒ ඒ පිරිස් හිතන්නේ මේ වගේ පුද්ගලයෙක් මහා හිතක් පපුවක් නැති මහා ආත්මාර්ථකාමියෙක්ය කියලා, ඒ වගේම මවාපානවා කියලා කියන්නටත් ඉඩ තියෙනවා, ඒ විතරක් නෙවේ පිස්සෙක් කියන්නටත් පුළුවන්... ඉතින් යන යන තැන තමන්ගේම කියන අයගෙන ඇනුම් පද අහන්නටත් සිද්ධ වේවි.  ඉතින් ඔන්න භාවනාවට ගන්නට සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නට නිවී සැනසෙන්නට උපකාර වන අරමුණු බොහෝමයක් ලැබෙන්නට පටන්ගන්නවා. 

තමන්ගේ කෙලෙස් මට්ටම් සොයාගන්නට තමන්ව සොයාගන්නට මහා උපකාරයක් මේ සෑම අවස්ථාවකින්ම ලැබෙන්නට පටන්ගන්නවා.  ඉතින් සමහරවිට ඔබට චීවරය දරන්නට වුවමනාවක් ඇතිවෙන්නටත් ඉඩ තියෙනවා.  ඒ වෙලාවට හිතලා බලන්න ඕන ඔබට චීවරය දරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා.  ඒ කියන්නේ මේ දේවලට මුහුණ දෙන්නට ශක්තියක් නොමැතිව අරමුණු වලින් පලායන්න වුවමනා වෙලා නිසා බාහිර ලෝකයාට අවශ්‍ය පරිදි කටයුතු කරනවාද එහෙමත් නැතිනම් මේ පිරිස් තමන්ට බැන වැදිලා තමන්ව පහත් කරලා සැබෑවටම නිවනක් පතන්නා වූ තමන් කෙරෙහි වරදවා වටහාගැනීම් ඇතිකරගෙන පාපයක් සිද්ධ කරගැනීම ගැන අනුකම්පාවක් පහල වෙලාද කියලා.  ඉතින් තමන්ව දන්නේ තමන්මනේ.  ඒ නිසා නිවී සැනසීමට තමන්ට කරන්නට හැකි උපරිමය තෝරාගත යුතු වෙනවා.