කොතැනක හිටියත් නිවීම

  04 මැයි 2013

ඒ ගැනත් විමසීමක් කරලා බලමුකෝ මොකක්ද මේ අවුල කියන්නෙ කියලා.  අවුල් නම් බොහෝමයක් තියෙනවා ඒ අතරින් පැවදිවීම මහණ බව කුමක්ද කියලා නොතේරීම පළවෙනිම අවුලයි, ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන පුද්ගලයා තුල මෙසේ මෙසේ පිළිපැදිය යුතු පිලිවෙත් තිබිය යුතුයි ලෙසින් සම්මත කරගෙන සිටීම තවත් අවුලක්, ධර්ම මාර්ගයේ ඉන්නවා නම් මෙහෙමයි ගිහි පරිසරයේ ඉන්නවා නම් මෙහෙමයි කියලා සම්මත හදාගෙන තිබීම තවත් අවුලක්, භාවනාව හෝ නිවීම හෝ නිවීම පිණිස සිත සකස් කරගන්නවාය කියන දේ තේරුම් නොගැනීම තවත් අවුලක් මෙන්න මේ මූලික කරපු අවුල් ටික ලිහාගන්නට උත්සාහයක් දරමුකෝ. 

ඉතින් මුලින්ම කිව්ව "පැවදිබව මහණ බව කුමක්ද යන්න නොතේරීමේ අවුල" මොකක්ද කියලා සොයා බලමුකෝ.  මොනවද මේ කියන්නේ?  චීවරයක් දරනවා නම් සම්මතයේ ශාසනයේ පුද්ගලයන් ලෙසින් පෙන්වා දෙන භික්ෂුවක් නම් භික්ෂුණියක් නම් ඒ අයටනේ පැවදි අය කියන්නේ, ඒ අයටනේ මහණ වෙලා කියන්නේ ඒ අයනේ සංඝරත්නය සංඝයා වහන්සේලා කියලා කියන්නේ කියලා ඔබට හිතේවි.  මෙන්න මේ තමන් තුලම ඇතිකරගෙන තියෙන සම්මතය මුලින්ම තේරුම් අරගෙන ඒ සම්මතයෙන් මිදිය යුතු වෙනවා. 

පැවිදි භූමියට පත්වූවෙක්, මහණවූවෙක්, සංඝයාවහන්සේ කෙනෙක් කිව්වාම සත්ධර්ම මාර්ගය තෝරාගෙන අනුගමනය කරන්නා වූ භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් යන සිව්වනක් පිරිසම අයිති වෙනවා.  ඒ කිව්වේ තවත් ආකාරයකට කියනවා නම් සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයේ සිට අරිහත්වයට පත්වූ උත්තමයෙක් දක්වා වූ පුද්ගලයන් වර්ග අට දෙනෙක් ගිහි පරිසරයක හිටියත් පැවදි පරිසරයක හිටියත් අයත් වෙන්නේ සංඝරත්නයටම තමයි.  ඔන්න මේ අවුල ලිහාගත්තොත් නිවීමක් කැමති අය ඉන්න ඕන මෙන්න මේ පරිසරයේයි කියලා සම්මතයක්, නියමයක්, තමන්ගේ සිත තුල ඇතිකරගන්නේ නෑ.  තේරුණා නේද?  මොකද වැදගත් වෙන්නේ කොතැනක හිටියත් කව්රුන් සමග සිටියත් ඔබට නිවීම වැටහිලාද, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද තවත් සරල භාෂාවෙන් කියනවා නම් ලෝකයේ අසාරත්වය වැටහිලාද නැත්ද යන්න බව විතරමයි. 

දැන් මේ අවුල ලිහීමත් සමග ඔබට මහා සැනසීමක් ලැබෙනවා.  ඒ මොකක්ද?  කොතැනක හිටියත් කව්රුන් සමග හිටියත් නිවීම ඇතිවිය යුත්තේ ඔබතුලම බවත් එයට බාහිර පරිසරයේ අධික බලපෑමක් නැතිබවත් අවශ්‍ය වෙන්නේ මේ පරිසර තත්වයන්ට මුහුණ දීමට ඔබ විසින් අවබෝධකරගන්නට යෙදුන ධර්මය බහා බැලීම පමණක් බවත් ඔබට වැටහීම නිසාම ඔබට චීවරයක් දරන්නට පුළුවන් වෙනවද බැරිවෙනවද යන්න ආදිය ගැන වැඩි තැකීමක් කරන්නේ නැතිවීම නිසාම ඔබට මහා සැනසීමක් ලැබෙනවා. ගිහි පරිසරයක හිටියත් අප්‍රමාදී බව ඔබ තුල වර්ධනය වෙමින් නිවීම පිණිසම නැඹුරු වන සිතක් ඇතිකරගන්නට ඔබට කටයුතු කරන්නට උනන්දුවක්, ධෛර්යයක් ලැබෙනවා.