නැතිවෙන්න දෙයක් නෑ

  04 මැයි 2013

පැවදි බිමට පත්වීම ඉතාමත් අගනා උත්තරීතර කටයුත්තක් වුවත් තමන්ගේ මනස පැවදි නොකරගෙන මහණ බවට පත්නොකරගෙන මේ චීවරය දරන්නට මේ සංස්ථාවට එකතුවුවහොත් එයින් ඇතිවන ඵලක් නැති බවත් වටහාගත යුතු වෙනවා.  මන්ද එවිට කය විතරයි මහණ වෙලා තියෙන්නේ සිත නෙවේ.  නිවීම පිණිස වැදගත් වෙන්නෙ සිත මහණ වීමයි.  එසේ නොමැති වුවහොත් ගිහි පරිසරයේ ඉන්න බැරිවුණා වගේම ඒ පැවදි පරිසරයේත් ඉන්නට අපහසුවෙන්නට පුළුවන්.  විශේෂයෙන්ම මේ කාලයේ නිවී සැනසීමට මූලිකත්වය දෙනවාට වඩා වෙනත් කටයුතු කෙරෙහි මූලිකත්වයක් දෙන භික්ෂු භික්ෂූණී පරපුරක් සිටින බවත් සිව්වනක් පිරිසම පොදුවේ දන්නවා. 

ඉතින් බුදු හිමියන්ගේ කාලයේ නම් සිතූ පමණින් ගොස් ඒ උත්තරීතර පැවිද්දට ඇතුලු වෙන්නට කිසිදු බයක් ඇතිකරගන්නට අවශ්‍ය වෙන්නෙ නෑ.  මන්ද බුදු හිමියන් කමටහනක් දෙන්නේ අරිහත්වයට පත්වීම පිණිසමයි.  ඒ අදාල කමටහන ගෙන වඩාගෙන අරිහත්වයට පත්වීමට හැකිවෙන්නේ ඒ නිසාමයි.  ඒ වගේමයි අඩුපාඩු පෙන්වා දෙන්නට මහ රහතන්වහන්සේලා බහුලව සිටියා.  ඒත් ඒ අඩුව මේ කාලය වන විට තියෙන බව අප දන්නවා.  කමටහනක් ලබා දෙන භික්ෂූන්වහන්සේවත් පිළිවෙත් නොපුරන තත්වයකට පත්වෙලා තියෙන්නටත් පුළුවන්.  ඉතින් ලැබුණ මිනිස් අත්බැවය බුද්ධිමත්ව යොදාගන්නට අපට හැකියාවක් තියෙන්නට ඕන.  

ගිහි පරිසරයේ ගැරහුම් වලට බයේ හෝ වේවා ගිහි පරිසරයේ තිබෙන්නා වූ අභියෝග වලට බයේ හෝ වේවා ඒවායෙන් පැන ගොස් තවත් එවැනිම තැනකට පත්වුවහොත් යන එන මං නැතිවන බවත් වටහාගත යුතු වෙනවා.  ඒ නිසා තේරුම්ගත යුත්ත වටහාගත යුතුයි.  මුලින්ම මනස සකසාගත්විට ඔබට ගිහි පරිසරයේ වුවත් පැවදි පරිසරයේ වුවත් උපේක්ෂා සහගතව කටයුතු කරමින් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබෙනවා. 

ඉතින් ගිහි පරිසරය ගතහොත් මිනිසුන් හුදකලා වෙන්නට අකමැතියි, භයයි, ඒ නිසාම ඒ අය බොහෝ දේ බලාපොරොත්තු වෙනවා.  ජීවිතයේ බොහෝ මිනිසුන් පිරිසක් හමුවෙනවා.  ඥාතීන් හිතමිත්‍රාදීන් මෙන්ම සිය පවුලට අයත් වන ඉතාමත් ලඟයැයි කියන්නා වූ සම්බන්ධතාවන්ද මේ අතර වෙනවා.  අප ගිහි පරිසරයක සිටින විට හොඳින් අධ්‍යනය කර බැලුවොත් මගේ විමර්ශනයට අනුව නම් වැඩි දෙනෙක් කථා කරන්නේ ලෙඩ රෝග ගැන එහෙමත් නැතිනම් නිරෝගීව සිටින්නට හැකි ක්‍රම, කෑම බීම ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ඉන්න ස්ථානය නිවාසයන් ගැන, රජය ගැන එහෙමත් නැතිනම් රජයේ පාලකයන්ගේ දෝෂ ගැන, එහෙමත් නැතිනම් සමාජයේ වැරදි ගැන, එහෙමත් නැතිනම් තම තමන්ගේ දරුවන් ගැන, එහෙමත් නැතිනම් වෙනත් වෙනත් පිරිස් ගැන නළු නිළියන් ආදී ප්‍රසිද්ධ චරිත ගැන ආදී නොයෙක් වූ මාතෘකාවන් සම්බන්ධවයි.  ධර්මයට සම්බන්ධ ධර්මයට ලැදියි කියලා හිතෙන සහ දන්නා පුද්ගලයෙක් එහෙම හමුවුනොත් කථා කරන්නේ ස්වාමීන්වහන්සේලා ගැන, පන්සල් ගැන, පෝයට සිල්ගත්තද නැත්ද යන බව... මෙන්න මේ වගේ දේවල්. 

ඉතින් මේ කථා ඵලයක් නැති බව ධර්මාවබෝධයෙන් ලෝකය තේරුම් ගත්ත කෙනෙකුට අපූරුවට වැටහෙනවා.  ඉපදුනා නම් ලෙඩවෙනවා, වයසට යනවා, නොයෙක් නොයෙක් විපර්යාසයන්ට පත්වෙලා මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා.  මෙය තමයි සාමාන්‍ය සිද්ධිය.  ඉතින් මේ වගේ දුක් සහගත තත්වයන් ලැබෙන නිසාම ලෝකයට බුදු කෙනෙක් පහල වෙලා පෙන්වා දී තිබෙනවා මෙයින් මිදෙන්නට හැකි අපූරු මාර්ගයක්.  අපූර්වත්වය තමයි මේ මාර්ගය අනුගමනය කරලා ඒ සැනසීම ඵලයන් ජීවත් වෙලා ඉන්න කාලය තුලදීම තමන්ට ලබන්නට හැකියාවක් තිබීම. 

බුදු හිමියන් කියන්නේ නෑ මරණයෙන් පසුව ඔබට මේ දේවල් හිමිවෙනවාය කියලා.  ඉතින් බොහෝ ආගම් තුලින් අපට දක්නට තියෙන්නේ මරණයෙන් පසුව ලැබගන්නට හැකි සුවදායක තත්වයක් පිළිබදවයි.  ඉතින් මේ ජීවත් වෙලා ඉන්න කොට ලබන්නට හැකි සැපයක් ගැන කියැවෙන යම් ධර්මයක් තිබෙනවා නම් ජීවත් වෙලා ඉන්න කම් එයත් අනුගමනය කරලා බැලුවාම වැඩේ ඉවරයිනේ.  නැතිවෙන්න දෙයක් නෑනේ නේද?