ඔබ ඔබවම තේරුම් ගන්න!

  04 මැයි 2013

මෙන්න මේ සිද්ධාන්තය හොදින් වටහාගන්න.  බුදු හිමියන් පෙන්වා දුන්න සංවරත්වයෙන් ලබන්නාවූ ස්ථිර වූත් ශාන්ත වූත් ප්‍රණීත වූත් සතුට සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ තමන් මතමයි.  ඒ සතුට ලබන්නට අපට බාහිර දෙයක් මත යැපෙන්නට අවශ්‍ය කරන්නේ නෑ.  දෙවියන් මතවත් යැපෙන්නට අවශ්‍ය කරන්නේ නෑ.  දෙවියන් තරහාවුනොත් සතුට නැතිවෙයි කියලා බයක් ඇතිවෙන්නේ අප දෙවියන් තුලින් තමන්ගේ සතුට පිණිස යැපෙනතාක් පමණයි. 

තමන්ට සතුටු වෙන්න දෙවි කෙනෙක්වත් බාහිර කුමන පුද්ගලයෙක්වත් අදාල නොවුනොත් තවදුරටත් යැපෙන්නෙක් නොවුනොත් ඒ අය නැතිවෙයි කියලාවත් තරහාවෙයි කියලවත් දාලා යයි කියලාවත් බයක් කම්පාවක් තමන්ට ඇතිවෙනවද?  නෑ නේද?  හොදින් හිතලා බලන්න.  බාහිර සත්වයෙක්ගෙන්, බාහිර පුද්ගලයෙක්ගෙන්, බාහිර ද්‍රව්‍යයක් තුලින්, බාහිර වස්තුවක් තුලින් සතුට සැනසීම හිගාකන්නට වැය කරන වෙලාව කැප කරන්න ඔබ තුලින් සතුට උපදවාගන්නට.  තමන්ගේම සිත, කය, වචනය දුකෙන් මුදවාගෙන සතුට සැනසීම පිරෙන තත්වයට පත්කරන්නට කටයුතු කරන්න.  එවිට සිගන්නෙක් වෙනුවට බොහෝම ප්‍රබල කම්පාවන්ගෙන් තොර පුද්ගලයෙක් වන්නට ඔබට හැකියාවක් ලැබේවි. 

වැඩිදුරටත් කියනවා නම් බාහිර පරිසර අත්දැකීම් තමන් තුලට බහා බලමින් මේ දේවල් තේරුම්ගන්නට උත්සාහ කරන්න.  අරිහත්වයට පෙර මාර්ග ඵල කීයක් තියෙනවද? පසේ බුදුවරුන් කියන්නෙ කව්ද? පටිච්ච සමුප්පාදයේ අංග කීයක් තියෙනවද?  චතුරාර්ය සත්‍යයට වචන කීයක් තියෙනවද?  ආර්ය මාර්ගයට අංග කීයද?  ත්‍රිලක්ෂණයේ වචන මොනවද මේ ආදී දත්තයන් රැස්කරන්නට ගත කරන වේලාව ඔබ ඔබවම තේරුම්ගැනීමට යොදාගන්න. 

දත්තයන්ට වඩා වැදගත් වෙන්නේ තමන්ව තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන ධර්මය විග්‍රහකිරීමකුයි.  බර බර වචන තිබූ පමණින් දේශකයානන්වහන්සේ ඒවා අත්දැකීම් ලැබූවෙක් නොවෙන්නට පුළුවන් ඒවා ඇසූ පමණින්  ඔබට බර බර වචන මතකයේ රැදුණු පමණින් ඔබ ඔබව අල්පමාත්‍රයක්වත් දන්නේ නැතිවෙන්න පුළුවන්... ඒ නිසා සැමවිටම තමන්ගේ අඩුපාඩුව වැරදුනේ කොතනද මග හැරෙන්නේ කොතැනද කම්පාවට පත්වෙන්නේ ඇයි හේතුව මොකක්ද ආදී ලෙසින් තමන්ගේම ඇත්ත සොයාගැනීමට කාලය වැය කරන තරමටම ඔබට සැනසීම ලැබේවි. 

ඔබ භාවනා කරන්නට කාලයක් දිනයක් තැනක් ඇදුමක් නියම කරගෙන සිටින තාක් ඒ කියන්නේ බාහිර වූ යම් යම් දෑ මත යැපෙන තාක් ඔබට චිත්ත භාවනාවක් නම් ඔබේ සිත තුල ඇතිනොවේවි.  ඒවා හොයනවා නම් හොයන්න... ඒත් ඒ අතර විය යුත්තට මුල්තැන දෙන්න.  එවිට ඉන්න පරිසරය හෝ ඉන්න පිරිස හෝ ඔබට කිසිම බාධකයක් නොවේවි.  ඔබේ කාර්ය ඔබේ පාඩුවේ කරගෙන යෑමට ඔබට හැකිවේවි.  හැකි පමණින් තමන්ගේ ශ්‍රම පමණින් අන් අයට උපකාරයක් වීමටත් ඔබට හැකිවේවි.  ඉතින් මේ කියූ දේවල් සෑම දෙයක්ම විශේෂයෙන්ම ගිහි පරිසරයක සිටිමින් මාර්ගය වඩන්නට උත්සාහ කරන ඔබට අංශුමාත්‍රයකින් හෝ වේවා වැදගත් වේවි යැයි සිතමි. 

තමන්ව තේරුම් ගෙන තමන්තුලින්ම සත්‍ය දැකීමට ඔබට අවශ්‍ය කරන ප්‍රඥාව තෙරුවණේ ආශිර්වාදයෙන් ලැබේවායි මෙත් සිතින් පතමි!!!