ඉවරයක් නෑ

  04 මැයි 2013

ටිකක් හිතන්න ඔබ කොහොමත් දුකෙන් නම් ඒ දුකෙන් මිදෙන්නට මරණයෙන් පසුව හැකි ක්‍රමයක් තියෙනවා නම් එයත් අනුගමනය කරනවා... ඒ ගමන්ම ජීවත් වෙලා ඉන්න ගමන්ම එයින් මිදෙන්නට හැකි ක්‍රමයක් තියෙනවා නම් එයත් අනුගමනය කරනවා.  කොතැනකින් හෝ වේවා වාසිය තමන්ටම අත්දැකගන්නට හැකිනේ.  ඇයි මේ සංකීරණ කරගෙන ජීවිතය තව තවත් දුකට අසහනයට පත්කරගන්නේ?  "මම නම් මේක විතරමයි පිළිපදින්නේ, මට නම් මෙයින් තොර ලෝකයක් නෑ, අනික් අය මෝඩයෝ මම තමයි දන්නේ, මම මෙහෙමයි මම අරහෙමයි..." ඉතින් ඉවරයක් නෑනේ නේද? 

ඉතින් ආශ්වාදයට කැමති නිසාම මිනිසුන් දුකෙන් මිදෙන්නට හැකියි කිව්වත් ආශ්වාදය අතහරින්නට කැමති නෑ.  ඒ කියන්නේ වහ තියෙනවා කියලා දැන දැන හරියට කෑමක් කනවා වගේ.  කමක් නෑ මැරුණට කාල ආශ්වාදය ලබලනේ මැරෙන්නේ වගේ තමයි... ඉතින් තෝරාගැනීම තමන්ම කරනවා.  ඒ කියන්නෙ ලෙඩ වෙන, වයසට යන, මරණයට පත්වෙන මාර්ගය තමන් විසින්ම තෝරාගන්නවා ඉන්පසුව අදෝනා ගසනවා.  කාගෙද වරද?  ධර්මාවබෝධය තුලින් ලෝකය දකින්නට පටන්ගත්ත විට ලෙඩ ගැන කථා කරමින්වත් ඒවාට ප්‍රතිකර්ම ගැන කථා කරමින්වත් කාලය නාස්ති කරන්නේ නෑ. 

ලෙඩක් වුණා නම් "ආ ලෙඩක් හැදුනා..." එච්චරයි... බේතක් ගන්න පුළුවන් නම් බේතක් තියෙනවා නම් බේතක් කරගන්නවා... එච්චරයි... එතැනින් එහාට කම්පා වීම් නෑ... ඉතින් තමන් කෙරෙහි මෙසේ දකින පුද්ගලයා තමන් අවට සිටින අය  කෙරෙහි දකින්නේත් ඒ විදියට තමයි.  මෝඩකමට බේත් තිබුණත් ගන්නේ නැති නම් තමන්ට ඒ සදහා වග කියන්න නොහැකියිනේ නේද?  ඉතින් පුළුවන් උපකාරයක් අන් අයට කරනවා මිසක් එතැනින් එහාට ඒ අය තම තමන්ගේ මෝඩකම් සුවකරගන්නට කටයුතු කරනවාද නැත්ද යන්න ගැන තැවීමක් ඇතිවෙන්නේ නෑ.  ඉතින් මේ වගේ පිරිසක් වටකරගෙන ඉන්න ඒ වගේ පුද්ගලයෙකුට අපහසුවක් වෙන්නේ නෑ.  තමන්ගේ පාඩුවේ තමන්ගේ කාර්යය කරගන්නවා. 

ඉතින් සමහර අවස්ථාවන් එනවා කෙනෙක් ලෞකිකව දියුණුවට පත්වෙලා බොහෝම සතුටින් තම තමන්ගේ දක්ෂකම් ගැන වර්ණනා කරන අවස්ථාවන්.  ඒ වගේ වෙලාවට ධර්මය තුලින් ලෝකය දැකපු පුද්ගලයාට ඇත්තටම මේ දේවල් හේතු ඵල දහමට අනුව දකින නිසාත් ලෞකිකව ලබන්නා වූ දියුණුවේ ඇත්ත තත්වය වටහාගෙන තිබෙන නිසාත් මහා සතුටක් ආශ්වාදයක් ලැබෙන්නේ නෑ.  ඒ අය සමහර විට සුභපතන්න තරම්වත් උනන්දු නොවෙන්න පුළුවන්.  මන්ද සුභපැතීම තුලිනුත් සමහරවිට අර ඇත්තක් නොදන්නා පුද්ගලයා තව තවත් අමාරුවේ වැටෙයි කියලා හිතලා.

සමහර වෙලාවට සිතින් ඇත්ත දැකීමට ආශිර්වාද කරන ගමන් මුවින් බොරුවට සුභපතන්නත් ඉඩ තියෙනවා.  අනවශ්‍ය සිත් තැවුල් ඇතිකරවන්නේ මොකටද කියලා.  ඉතින් මේ වගේ අවස්ථාවලදී සමහර විට බාහිර පුද්ගලයන් කියන්නට ඉඩ තියෙනවා "අපේ සතුටකදී සතුටු වෙන්නේ නැත්තේ ඉරිසියාවටනේ"... කියලා... ඉතින් තමන් තේරුම් ගත යුතුයි තමන්ව.  ඉරිසියාවට නම් එහෙම කටයුතු කරන්නේ තමන් පිළිපදින්නා වූ ධර්මයක් නෑනේ නේද?  එහෙම නැතිව ධර්මාවබෝධය තුලින් නම් කටයුතු කරන්නේ සිතිවිලි මාත්‍රයක් පාසා අන් අයට මෙත් සහගත වූ සිතිවිලි තමයි පිටවෙන්නේ.   සමහරවිට මුවින් වචන ලෙසින් පිටනොවෙන්න පුළුවන්.  වැදගත් වෙන්නේ සිත ක්‍රියාත්මක වෙන ආකාරයයි. 

දැන් මේ වගේ අවස්ථාවන් වලදී තවත් කෙනෙක් නිසා කම්පාවීම් තැවීම් සිත්තැවුල් එනවා නම් වහ වහා තමන්ගේ අවුලයි සොයාගත යුතු වෙන්නේ.  එහෙම නැතිව ගිහි පරිසරයක ඉදගෙන නිවන් දකින්න බෑ කියන තීරණය ගැනීම නෙවේ.  තේරුණා නේද?