ගිහි පරිසරය

  04 මැයි 2013

ගිහි පරිසරයක ඉන්න විට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉන්න ස්ථානයක්, බෙහෙත් ආදී මූලික අවශ්‍යතාවයන් තමන්ටම සපුරාගන්නට සිද්ධ වෙනවා.  මොකද ගිහි පරිසරයක සිටින විට කෙනෙකුට තමන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙක්ය කිව්වත් කිසිම කෙනෙක් කිසිවක් නිකම් දෙන්න කැමති නැති නිසා. මන්ද නිතරගයෙන්ම සිතිවිල්ලක් එනවා ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් නම් මහණ වෙන්නේ නැතිව තවමත් ගිහි පරිසරයක මොන කෙහෙල් මලක් කරනවාද කියලා.  එහෙම නේද? මෙන්න මේ වගේ අදහසක් නිසාම ගිහි පරිසරයක ඉන්න විට මූලික අවශ්‍යතාවයන් සපයාගන්නට කාලය වැය කරන්නට සිද්ධ වෙනවා.  ඒක සාමාන්‍ය දෙයක් සහ සාමාන්‍ය බුද්ධිමට්ටමකට වුණත් වැටහෙන සරල දෙයක්. 

ඉතින් පැවදි බිමට පත්වූ විට මූලික අවශ්‍යතාවයන් තමන්ගේ ලඟටම ලැබෙනවා.  ඉල්ලන්නේ නැතිවම ලැබෙනවා.  ඉතින් ඒ වෙනුවෙන් වැය කරන්නට තිබෙන කාලය ඉතිරිකරගෙන තමන්ව සොයාගන්නට කටයුතු කරන්න මේ පැවැදි බිමට ඇතුලත් වෙන පිරිසට අවස්ථාවක් ලැබෙනවා.  තවත් විදියකට කිව්වොත් කටයුත්ත පහසු වෙනවා.  ඒත් තවත් කෙනෙක් මතම යැපෙන්නට සිද්ධ වෙලා තියෙන නිසාම මේ පැවදි ජීවිතය දුෂ්කර වෙන්නවා. මොකද කෙනෙක් මේ මූලික අවශ්‍යතාවයන් ලබා දීම මගහැරියොත් එහෙම කෑමක් බීමක් පවා ලබාගන්නට අවස්ථාවක් නැතිවීම නිසාම.  මේ වගේ සරල දෙයක් කථා කරන්නට නෙවේ මේ ලිපිය ලියන්නට මුල පිරුවේ.  ගිහි ජීවිතයේ නැතිවන පැවදි ජීවිතයේ තියෙන සැබෑම නිදහසක් සම්බන්ධව කථා කරන්නටයි.  ඒ මොකක්ද ඒ?

ටිකක් හිතන්න භික්ෂූ භික්ෂූණීවහන්සේ කෙනෙක් ගැන?  ඔබ ඔවුන්ගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවද කියලා ටිකක් හිතන්න?  උන්වහන්සේලා ඔබට දුරකථන ඇමතුමක් දීලා ඔබ අද දිනයේ කෑවද බිව්වද සනීපෙන් ඉන්නවද කියලා සොයලා බලාවි කියලා බලාපොරොත්තුවක් ඔබට තියෙනවද?  උන්වහන්සේලා ඔබගේ උත්සව අවස්ථාවන්ට සහභාගීවේවි කියලා ඔබ බලපොරොත්තු වෙනවද? නෑ නේද?  ඇයි ඒ?  ඒ පිරිස පැවදි වූ පිරිසක් නේ.  ඉතින් ඒ අයට ඕවා හොයන එක අදාල දෙයක් නෙවේනේ... ඉතින් හදිසියේවත් ඒ පිරිසෙන් කෙනෙක් මේ දේවල් හෙව්වොත් ඔන්න එතකොට ඔබට ද්වේශයක් වුණත් එන්නට ඉඩ තියෙනවා "මේ හාමුදුරුවරු, මෙහෙණිවරු බණක් භාවනාවක් කරගන්නේ නැතිව අපේ ඒවා, අපේ ගැන මොකට හොයනවද මන්දා" කියලා... එහෙම නේද?

එතකොට ධර්ම මාර්ගයේ නිවීම පිණිසම කටයුතු කරන පුද්ගලයෙක් ගිහි පරිසරයක ඉන්නවා.  ඒ පුද්ගලයාව ගිහි පුද්ගලයෙක් ලෙසින් දකින නිසාම ඒ පුද්ගලයාගෙන් ඒ පුද්ගලයාගේ නිවැසියන්, ඥාති හිතමිත්‍රාදීන් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?  මේ දේ තේරුම් ගන්න නම් මුලින්ම තම තමන් විසින් තවත් ගිහි පරිසරයක වෙසෙන්නා වූ පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා සොයා බලන්නට සිද්ධ වෙනවා.