වත් පිලිවෙතක නිවනක්

  04 මැයි 2013

"ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන පුද්ගලයා තුල මෙසේ මෙසේ පිළිපැදිය යුතු පිලිවෙත් තිබිය යුතුයි ලෙසින් සම්මත කරගෙන සිටීම තවත් අවුලක්" ලෙසින් මම කිව්වනේ.  තවත් විදියකට කියනවා නම් නිවනක් ඕනේ නම් මේ විදියට භාවනා කල යුතුයි, මේ විදියට සිල් සමාදන් විය යුතුයි, මේ විදියට ගාථා සජ්ඣායනා කල යුතුයි, මේ විදියට ඇඳුම් පැළඳුම් භාවිතා කල යුතුයි, මේ විදියට කෑම බීම ගත යුතුයි, මේ විදියට කථා බහ කල යුතුයි, මේ විදියට ඇවිදීම සිද්ධ කල යුතුයි, මේ විදියට නිදාගත යුතුයි, මේ විදියට පිරිසිදු විය යුතුයි, මේ විදියට අවට පරිසර සකසා ගත යුතුයි... ඉතින් කියනවා නම් කෙලවරක් නම් නෑ...

මොනවද මේ තවත් වචනයකින් කියනවා නම් "යම් වත් පිලිවෙතක් තුලින් නිවනක් දකින්නට හැකියි" කියන මතය.. අදහස... තවත් විදියකට කියනවා නම් සෝතාපන්න වෙනතෙක් සිතක තියෙන්නාවූ සංයෝජන ධර්මයන්ගෙන් එකක් වන "සීලබ්බතපරාමාස" කියන කෙලෙස් ධර්මය.  ඉතින් මේ අදහස නිසාම ඔන්න කම්පාවට පත්වෙනවා.  "අයියෝ ගිහි පරිසරයක ඉන්න ගමන් නිවන් දකින්න බෑනේ... නිවන් අවබෝධ කරන්නට බෑනේ... අරිහත්වයට පත්වෙන්නට බෑනේ ආදී වශයෙන් කියලා... ඉතින් දැන් ඉතින් අවුල ඇතිවෙලා තියෙන්නේ කොහෙද?  තමන්ගේම සිත තුල නේද? 

එතකොට බුදු හිමියන් මේකට ඉතාමත් සරල පිළියමක් පෙන්වා දී තියෙනවා සත්පුරුෂයෙක්ගෙන් සත්ධර්මය අහන්න අහන ගමන්ම හොඳින් තම තමන්ගේ නැණ පමණින් තෝරාබේරාගෙන ප්‍රතිපත්තියට බැසගන්න කියලා.  ඉතින් ප්‍රතිපත්තිය මොකක් විය යුතුද?  සරලව කියනවා නම් නිවීමක් නැත්තේ ගිනි ගෙන දැවෙන මනසක් අසහනයෙන් පෙලෙන මනසක් ඇතිවෙලා තියෙන්නේ තමන්ගේ සිත, කය, වචනය සංවරත්වයේ නැති නිසයි.  හැම තිස්සේම ඇලෙන්නට, බැදෙන්නට, ගැටෙන්නට යොමුවෙන සිතක් තියෙන තාක් කයත් වචනයත් අසංවර වෙනවා.  මේ නිසාම නිවනක් නැතිව අසහනයට පත්වෙන්නට සිද්ධ වෙලා තියෙනවා.  එහෙනම් ප්‍රතිපත්තිය විය යුත්තේ සිත, කය, වචනය සංවර කරගැනීමයි.  බලහත්කාරයෙන් සංවර කරගැනීමක් නෙවේ අනතුර දැකලා අනතුරෙන් මිදෙන තත්වයට සිත සකස් කරගැනීමක්. 

හරියටම උදාහරණයකින් කියනවා නම් මේ විදියට හිතලා බලන්නකෝ. 

කුඩා දරුවෙක් විෂඝෝර සර්පයෙක් දැක්කොත් ඒ දරුවාට ඒ අනතුර ගැන වැටහීමක් නැති නිසාම ඒ විෂඝෝර සර්පයා අසලට යනවා.  ඒ නිසාම අනතුරට පත්වෙලා විනාශ වෙන්නට සිද්ධ වෙනවා.  යම් අවස්ථාවක ඒ කුඩා දරුවෙකුට ඒ සර්පයා විෂඝෝරබවත් එයින් සිද්ධ වෙන අනතුරත් ඒ අනතුර දන්න කෙනෙක් විසින් පහදා දෙනවා.  එතකොට මොකද වෙන්නේ. දරුවා ඒ දේවල් තේරුම් අරගත්තොත් නැවත කවදාවත් ඒ වගේ සර්පයෙක් දුටුවිට ලගට යන්නේ නැතිව ඉවත්වෙලා ඉන්නට පුරුදු වෙනවා.  අනතුර හදුනාගෙන අනතුරෙන් මිදෙනවා.  මෙන්න මේ වගේ මේ අනතුර හදුනාගන්නට නම් ඒ අනතුර හදුනාගත්ත පුද්ගලයෙක්ගෙන් ඒ අනතුර ගැනත් අනතුර ඇතිවෙන්නට හේතුවත් ඒ අනතුරෙන් මිදෙන ආකාරයත් යනදෑ ගැන අහලා දැනගන්න ඉන්පසුව ඒවා හොදින් තමන්ගේම නුවණින් තෝරාගෙන ඒ අනුව කටයුතු කිරීම තමයි විය යුතු වෙන්නේ.