සිත තුල අවුල

  04 මැයි 2013

ඉතින් ඥාතියෙක් නම් හිත මිත්‍රයෙක් නම් නිතර දුරකථනයෙන් කථා කොට කෑවද බිව්වද හොඳින් ඉන්නවද කියලා සොයලා බලන්න ඕන... එහෙමත් නැතිනම් නිතර නිවෙස් වලට ගොස් සැපදුක් සොයා බලන්න ඕන... එහෙමත් නැතිනම් උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න ඕන... ගෙදර ඉන්නවා නම් ඒ ඒ අය කථා බහ කරන්නා වූ බොහෝම සරල කාටවත් වැඩි ප්‍රතිඵලයක් නැති හිස් වචන ගොඩාක් කථා කරමින් ඉන්න ඕන... මෙන්න මේ වගේ කොච්චර නම් දේවල් ගොඩක් ඔබ තවත් ගිහි පරිසරයක ඉන්න පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවද?

දැන් හොඳින් හිතන්න එතකොට ඔබ ඔබටම සම්මත කරගත්ත නියමයක්, නීතියක් තියෙනවා නේද කියලා.  ඒ තමයි පැවැදි බිමට පත්වෙලා නම් ඒ ඒ විදියට ඉන්න ඕන ගිහි පරිසරයක ඉන්නවා නම් මේ මේ විදියට ඉන්න ඕන කියලා.  ඒ වගේම තමයි ගිහි පරිසරයක ඉදගෙන ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු ඒ දේ හරියට කරගන්නට පැවදි බිමට පත්විය යුතුමයි එහෙම නොකලොත් ගිහියෙක් වගේ ඉන්න ඕන එහෙයි මෙහෙයි දෙකක් බෑ වගේ අදහසක් ඇතිව දැඩි නීතියකුත් ඔබ සම්මත කරගෙන සිටිනවා නේද? 

දැන් මෙන්න මේ අවුල නිසා බොහෝ පිරිසකට බොහෝ ගැටලුකාරී තත්වයක් උදාවෙනවා.  ධර්ම මාර්ගයේ ගමන් කරන්නට නිර්වාණය පිණිස සිත සකස් කරගන්නට වුවමනාව තිබුණත් "අනේ අපි ගිහි පරිසරයක ඉන්න නිසා මේ දේ කරගන්නට හරිම අපහසුයි... ඇතිකරගත්ත බැදීම් වලට යුතුකම් ඉටු කරන්නේ නැතිව අපට දාලා යන්නත් බෑ... එහෙම කලොත් පව් කියලා බයකුත් තියෙනවා... ඒ නිසා දැනට පිනක් දහමක් කරගෙන මූලික වශයෙන් යමක් කරගෙන ඉන්නවා පසුව සුදුසු අත්බැවයක් නිවීම පිණිස ලැබේවිනේ" කියලා සිත සනසාගෙන ඉන්නවා.   තවත් විදියකට කියනවා නම් "වැඩේ අතහැරලා දාලා වගේ තමයි මේ ඉන්නේ"  බාහිර පරිසරයක් නිසාම අප්‍රමාදී බවක් සිතේ ඇතිකරගෙන.... මේ දේ ගිහි පරිසරයක ඉන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න පිරිසට පමණක් නොවේ පැවදි පරිසරයක ඉන්න ගිහි මාර්ගයේ ගමන් කරන පිරිසටත් පොදු ප්‍රශ්ණයක්. 

ඇයි මම එහෙම කිව්වේ?  බැලූ බැල්මට පැවදි බිමට පත්වූ භික්ෂුවක් භික්ෂුණියක් වුවත් සිත පැවදි නොවූ නිසාම කැමැත්ත ගිහි කටයුතු වලටමයි.  ඒ නිසාම නිතරම ගිහියන් සමග සම්බන්ධ වෙන්නට ඒ අයගේ සුවදුක් විමසමින් ගිහි කටයුතු වල නිරත වෙන්නට තමන්ගේ කාලයෙන් ප්‍රයෝජන ගැනීම නම් මේ ගිහි පිරිස හා සම්බන්ධව කරන කියන කටයුතු වල සාර්ථකභාවය ලැබීමයි කියලා හිතන පිරිසකුත් ඉන්නවා.  ඉතින් ඒ අයට අර ශාන්ත වූත් හුදකලා වූත් පැවදි ජීවිතය මහා කරදරයක් වෙනවා.  ඒ පිරිස එතැනදී අසහනයකට පත්වෙනවා හරියටම ගිහි පරිසරයක ඉන්න ධර්ම මාර්ගයේ ගමන් කරන නිවන් දකින්නට කැමති පිරිස අසහනයට පත්වෙනවා වගේ.  දැන් ඉතින් කොතැනද එහෙනම් අවුල තිබුනේ?  පරිසරයේද?  නෑ.  තමන්ගේ සිත තුල තමයි මේ අවුල තියෙන්නේ.