අත සෝදාගත් සේ

  08 අගෝස්තු 2013

ඉතින් මම හැමතිස්සේම කියනවා වගේ මම ගරු කරන්නේ පිළිපදින්නට උත්සාහ කරන්නේ බුදු හිමියන් පෙන්වූ ඒ සියලු දුක් කෙලවර කරගන්නට හැකි සියලු අසහනයන් මානසික පීඩාවන්ගෙන් මිදෙන්නට හැකි මාර්ගයයි.  ඉතින් යමක් දෙනවා නම් ඒ දීම තුලින් වර්ධනය කරගන්නට උත්සාහ කරන්නේ අන්න ඒ කුසලතාවයයි.  මම විශ්වාස කරන පරිදි බුදු හිමියන් පෙන්වා දී තිබෙන්නේත් එවන්වූ දීමක් මිස අල්ලාගෙන දෙන දීමක් නම් නෙවේ.  ඉතින් මේ අතහැරීම ප්‍රගුණ වන දීම සහ අල්ලාගෙන දෙන දීම තෝරාගත්තා නම් මින්පසුව දානය දෙන විට පහසුවක් වෙයිනේ නේද?

බුදු හිමියන් වරෙක පෙන්වා දුන්නා "යමෙක් යමක් දෙන විට ඒ දීම තමන්ගේ අතසෝදාගත් පරිදි දිය යුතුයි" වගේම තවත් තැන්වල පෙන්වා දී තිබෙනවා උන්වහන්සේගේ ධර්මය පිළිපදින්නා වූ සැබෑ ශ්‍රාවකයන් යමක් දෙන්නේත් අන්න ඒ ආකාරයටම තමයි කියලාත්. 

ඉතින් මේ අතසෝදාගත්තා වගේ දෙනවා කියන්නේ මොකක්ද කියලා හොදින් හිතලා බැලුවාම ඒ කියන්නේ අතසෝදන විට ඒ අවස්ථාවේ මගේ සිත කොහොමද වැඩ කරන්නේ කියලා අත් සෝදන අවස්ථාවකම මා විසින් විමසීමක් කරලා බැලුවාම මට වැටහුණ දේ තමයි මම යම් මොහොතක අතසෝදනවා නම් මගේ චේතනවා තියෙන්නේ මගේ අත සේදෙනවාද නැත්ද යන්න අරමුණු කරගෙන මිසක් මගේ අත සෝදාගන්නට හේතුවූ යම් කුණු අපද්‍රව්‍යයක් මගේ අතේ තිබුණා නම් සේදීමෙන් පසුව මේ කුණු යන්නේ කොහේද මේ කුණු වලට මොනවා වෙනවා ඇතිද ආදී කුණු සම්බන්ධව කිසිම දෙයක් මගේ සිතේ ඇතිවෙන්නේ නෑනේ කියලායි.

මගේ එකම අරමුණ අත්දෙක හොදින් සෝදාගෙන කුණු වලින් නිදහස් වීමයි.  තවත් විදියකට කියනවා නම් කුණු ටික අතහැර දැමීමයි.  ඉතින් ඒ අරමුණ වෙනුවෙන් නැවත නැවත විමසා බලා මගේ අතේ තවමත් කුණු තියෙනවද මට කුණු නිසා තවමත් ප්‍රශ්ණයක් තියෙනවාද කියලා සොයා බලා අත් දෙක පිරිසිදු කරගන්නවා විනා "කුණු අවුල්" නෑ. 

ඔන්න දැන් මෙන්න මේ හැඟීම බුදු පියාණන්වහන්සේ දුන්න උපමාව හා ගලපා බලා දානයක නම් කෙසේ විය යුතුද කියලා විමසා බැලුවාම  මේ දේ බොහෝම අපූරුවට පැහැදිලි වුණා.  මුලින්ම කිව්වා වගේ නියමාකාරය දානයක් නම් ඒ තුලින් ලැබිය යුතු ඵලය අතහැරීමයි. සියලු දුක් කෙලවර කරගන්නට හැකි සියලු අසහනයන් මානසික පීඩාවන්ගෙන් මිදෙන්නට හැකි ක්‍රමයක් ඒ තුලින් මතුවන තරමටම තමයි දානය නිසාවෙන් නිවීමක් ඇතිකරගන්නට හෝ උපකාරයක් ඇතිකරගන්නට මනස පුහුණු කරගන්නට හැකිවෙන්නේ.  අන්න ඒ නිසාම කොතරම් දන් දුන්නත් අඩුපාඩුවක් අයහපතක් නම් සිද්ධ වෙන්නේ නෑ.