අල්පේච්ඡතාවය වැඩීම

  08 අගෝස්තු 2013

මේ ආකාරයට සිතන්නට පුරුදු වන ඔබ තුල තවත් ගුණයක් වැඩෙනවා.  ඒ තමයි කුණු පුරවාගෙන ඉන්න ස්ථානයක සිටින කෙනෙක් වෙන්නේ නැතිව "අල්පේච්ඡතාවය" කියන ගුණයත් ඔබ තුල වැඩෙනවා.  දැන් ඉතින් දකින දකින ද්‍රව්‍ය ගෙදරට ගෙනත් වස්තු කරගන්නේ නැති තත්වයට ඔබ සරල ජීවිතයකට හැඩ ගැසෙනවා. 

එයින් තවත් වාසියක් සිද්ධ වෙනවා.  ඒ තමයි අතේ මුදල් හිඟපාඩු නම් දැන් ඕං නැතිවෙනවා.  එච්චර කාලයක් කුණු වෙනුවෙන් වියදම් කරපු මුදල් දැන් ඔබට ඉතිරි වෙලා වැඩිපුරත් එක්ක සල්ලි තියෙන්න ගන්නවා.  දැන් ඉතින් මේ මුදලුත් ඔබට කුණුම මිසක් අන්කවරක්වත් නොවෙන නිසාවෙන් තව තවත් අතහැරීම පුරුදු කරන්නට දාන දෙන්නට ඔබට පෙළඹෙන්නට හැකියි.  මේ සියල්ල ඔබගේ බුද්ධිමත්භාවය අනුව තමයි සිද්ධ වෙන්නේ.  තේරුණා නේද?  ප්‍රතිඵල මේ ආකාරයට එන්නේ නැතිනම් එය ඔබ කරගෙන යන විදියේ ඔබ අවබෝධකරගෙන සිටීමේ අඩුපාඩුවක් මිස එය මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩුවක් නෙවේ කියලා තෝරාගන්නට ඕනෑ.  ඒ නිසා ප්‍රතිඵල මෙසේ නොඑන විට තමන්ගෙන්ම ප්‍රශ්ණ කර කර කොතැනද මට වැරදුනේ කියලා සොයා බලා නිවැරදි කරගත යුතු වෙනවා. 

ඔන්න දැන් දෙන්නේ කුණු නම් දුන්නට පස්සේ මේ දුන්න කුණු වලට මොකද කලේ කියලා මේ කුණු ගැන විස්තර සටහන් ඉල්ලනවත් ඒවා යොදාගත්ත ආකාරය ඉල්ලන්නවත් මේ කුණු වලට මොකද කලේ කියලා මට සාක්ෂි දෙන්න ඔප්පු කරන්න කියලාවත් කියන්න තරම් හිතක් මේ ආකාරයට සිතන්නට පුරුදු පුහුණු වූ දිනයේ පටන්ගෙන ඔබට එන්නට හේතු තියෙනවද? 

මේ මම දුන්න දේවල් මේ අය කොහොම පාවිච්චි කරනවද දන්නේ නෑ... මේ අය මේවගෙන් අයහපත් දේ කරනවාද දන්නේ නෑ... ආදී වශයෙන් දන්දීමට පෙර හෝ දෙන අතරතුර හෝ දීමට පසුහෝ ඇතිවන්නා වූ මානසික දූෂ්‍යතාවයන් ඇතිවෙන්නේ නෑ.  "අයියෝ මම මේ දේවල් දෙන්නේ මේ වගේ කෙනෙකුටනේ කියලා කම්පාවීම්" ඇතිවෙන්නේ නෑ. 

බුදු පියවරුන් ප්‍රමුඛ කරගත්තාවූ ආර්ය මහා සංඝරත්නයට දෙනවා කියලා හිතාගන්නවා කියලා හිතන්නකෝ.  ඒ වෙලාවට තෝරාගත යුතුයි මේ මම දෙන්නා වූ දේට අංශුමාත්‍රයකින්වත් ඇලෙන්නාවූ ඒවා නිසාවෙන් අංශු මාත්‍රයක තරමින්වත් ගැටෙන්නා වූ පිරිසක් නෙවේ රාගය, ද්වේශය, මෝහය සම්පූර්ණයෙන් ක්ෂය කරා වූ ඒ බුදු පියවරුන් ප්‍රමුඛ කරගත්තාවූ අරිහතුන්වහන්සේලා කියලා කියන්නේ.  ඒ විතරක් නෙවේ ආර්ය මහා සංඝරත්නයට අදාල වෙනවාය කියලා කියන්නේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කලොත් ඇතිවන විපාක හොදින් අවබෝධකරගෙන ඒවා ක්ෂය කරන්නට නිසි මාර්ගයට පත්වෙලා ඉන්න පිරිසක් ඉතින් ඒ අයත් මේ මම දෙන්නා වූ ද්‍රව්‍ය නිසාවෙන් ඇලීමක්, ගැටීමක් ඇතිකරගන්නේ නෑ.  එහෙනම් මම මේ දෙන්නේ අන්න ඒ වගේ මේ දේවල් වලින් නිසි ලෙසින් ප්‍රයෝජනයට ගන්නට හැකි පිරිසකටයි කියලා තවත් ආකාරයකට සතුටු වීමටත් ඔබට හැකියි. 

එතැනින් එහාට ඒ කාලේ වගේ මේ කාලේ හිමිවරු නෑනේ ආදී අමතර දෑ හිතනවා නම් ඔන්න ඔබේ දීමෙහි ගැටලුවක් තියෙනවා.