බුද්ධිමත්ව අතහැරීම

  08 අගෝස්තු 2013

ඉතින් හැම තිස්සේම කියනවා වගේ "සිතට එකඟව නැතිව ධර්මයට එකඟව සිතන්නට කියන්නට කරන්නට පෙළෙඹෙනවා නම් උත්සාහ කරනවා නම්" ඒ පුද්ගලයාට වරදක් වෙන්නේ නෑ.  ලංවෙන්නේ නිවීමටමයි.  ලංවෙන්නේ සැබෑ සතුටටමයි.  

ඉතින් අවසාන කිරීමට මත්තෙන් කිව යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා.  ඒ තමයි යම් පුද්ගලයන් මේ ආකාරයෙන් සත්ධර්මය කිවූ විට හෝ කියවූ විට ඒවා වහ වහා තමන්ගේ ජීවිතයට ලංකරගන්නට උත්සාහ කරනවා.  සමහර පිරිසක් ඉතාමත් නිවැරදිව ඒ දේ කරගන්න අතරේ සමහර පිරිස් අනුවණ ආකාරයෙන් තමයි කරගන්නේ.

උදාහරණයකින් කියනවා නම් මේ දේවල් කියවලා ඔබ ගත යුතු තීරණය ගෙදර තියෙන්නාවූ තරමක් බඩු භාණ්ඩ දන්දීම හෝ එළියට විසිකිරීම නෙවේ.  නිසි ලෙසින් තෝරාගෙන දීමට හැකිදේ දී අල්පේච්ඡ වීම වැදගත්.  එහෙත් නිවසේ සිටින්නේ ඔබ පමණක් නෙවේ නම් ගැටලු මතුවෙන්නට හැකියි.  හැමෝම එකවගේ හිතන්නේ නෑනේ නේද?  ගෙදර දරුවෙක් විදියට ඔබ මේ දේවල් කියවලා අම්මලා තාත්තලා මේ කුණු අල්ලාගෙන ඉන්නවා කියලා බැන්නට විරුද්ධව කටයුතු කලාට පාපයක් අයහපතක් සිද්ධ වෙන්නේ ඔබටම තමයි. 

ඉතින් ප්‍රඥාවන්තව හැකි අයුරින් තෝරාදෙන්නට හැකි නම් කරුණාවෙන් උපක්‍රමශීලිව එය කරදීම ඔබට කල හැකියි.  එසේත් නැතිනම් ඔබ කල යුතු වන්නේ මනසින් අතහැරදැමීම ප්‍රගුණ කිරීමයි.  එවිට ඔබට රජ මාළිගයක හිටියත් අසහනයක් දුකක් නැතිව ඉන්න පුළුවන්, එහෙමත් නැතිනම් පාරේ විදුලි පහන් කණුවක් යට නිදාගන්නට සිද්ධ වුණත් එයත් අසහනයකින් තොරව කරන්නට පුළුවන්.  ඉතින් හැමදේම මනස තුල සිද්ධ වෙන දෙයක් මිස එය බාහිරයට මවා පෑ යුතු දෙයක් නොවේ කියලා මම නිතරම පැහැදිලිකරන්නට උත්සාහ කරනවානේ.  ඉතින් අතහැරීමේ ගුණය වැඩිය යුතු වෙන්නේ ඔබේ සිත තුලයි.

ඔබට කියලා යමෙක් ගෙනත් දී තිබෙන ඔබේ කියලා වෙන් කරගෙන තියෙන දෙයක් තවත් කෙනෙකුට දීලා ඇතිවන මානසික තත්වය හදුනාගෙන කටයුතු කිරීම හොදයි ඒත් එයිනුත් තවත් කෙනෙකුට වැඩි අයහපතක් නොවන ආකාරයට කරගන්නට බුද්ධිමත් විය යුතුයි.