දන් දෙමු නේද?

  08 අගෝස්තු 2013

දානය ගැන නම් කථා කරන්නට ඇති දෑ මෙතෙකැයි කියන්නට නොහැකියි.  මන්ද "දානය" තමයි ඕනෑම පුද්ගලයෙකුට ලෝකෝත්තර මාර්ගයේ පටන්ගැන්ම සිදුකරගන්නට හැකි හොඳම අවස්ථාව.  මේ දේ නිසි ආකාරයෙන් ප්‍රඥාවන්තව සිද්ධ වෙනවා නම් ආර්ය මාර්ගය පූර්ණය කිරීම නිර්වාණ අවබෝධය යනාදිය ඉතාමත් ඉක්මනින් සිද්ධ කරගැනීමටත් හැකියාවක් ලැබෙනවා.  ඒ කොහොමද කියලා විමසීමක් කරලා බලමු.

දානය සම්බන්ධයෙන් ත්‍රිපිඨක සත්ධර්ම ග්‍රන්ථ ආදියෙහි තිබෙන්නා වූ දෑ ඉඩ කඩ ඇති විටක මෙම ලිපි පෙලට එකතු කරන්නට උත්සාහ කරන්නම්.  එතෙක් සරලවම දානය සම්බන්ධයෙන් අප වටහාගත යුතු ආකාරයත් දාන වස්තු රැස් කිරීම, දානය පිලියෙල කිරීම, දානය පූජා කිරීම ආදී කටයුතු සිද්ධ කරන විට අපගේ සිත සකස් විය යුතු ආකාරයත් උදාහරණ උපමා ඇතිව පහදා ගන්නට උත්සාහ ගනිමු.  කොතරම් දත්තයන් රැස්කලත් ප්‍රායෝගිකව සිද්ධ විය යුතු දේ දන්නේ නැතිනම් එයින් ඵලයක් නෑනේ නේද?

ඉතින් දානයක හෙවත් දීම තුල ලැබිය යුතු / පුහුණු විය යුතු / තමන් තුල වැඩිය යුතු උපරිම ගුණය / කුසලතාවය තමයි "අතහැරීම".  මේ තමයි නිවීමක් සැනසීමක් සහනයක් සියලු දුක් කෙලවර වූ මනසක ඇති ස්වභාවය.  මෙන්න මේ ගුණය තමන් තුල වැඩිවෙන්නේ යම් තරමකටද ඒ තරමටම නිවීමක් සැනසීමක් සහනයක් තමන් තුල හටගන්නවා. 

"දාන සීල භාවනා" කියලා බොහෝම ප්‍රකටව තියෙන්නා වූ පිළිවෙලින් සලකා බැලුවත් මෙය හොදින්ම තෝරාගන්නට හැකියි.  දානය තුලින් අතහැරීම ප්‍රගුණ කරන්නෙකු තුල නිතැතින්ම සංවරත්වයක් පිහිටන්නට පටන්ගන්නවා.  ඒ පුද්ගලයාගේ සිත, කය, වචනය දස අකුසලයෙන් අසංවර වෙන්නේ නැත්තේ ඒ පුද්ගලයා අතහැරීම ප්‍රගුණ කරන්නෙක් නිසාමයි.  ඉතින් සංවරත්වයම තමයි සීලය ලෙසින් ධර්මයේ සදහන් වෙන්නේ.  ඒ සැබෑ සීලය බලහත්කාරයෙන් වතක් සමාදන් වීම තුලින් ලං කරගන්නක් නෙවේ.  මෙන්න මේ වගේ සංවරත්වයට පත්වෙච්ච මනසට ඔන්න හැකියාවක් තියෙනවා භාවනාව වඩන්නට.  ඒ කියන්නේ තමන්ගේ භවය නසන්නා වූ න්‍යාය වටහාගන්නට මෙන්න මේ මනසකට හැකියාවක් තියෙනවා.  එහෙනම් දානය කියන්නේ නිවී සැනසීමටම උපකාරකරගන්නට හැකි මූලිකම සහ ප්‍රධානම දෙයයි.  මෙය නිසි ආකාරයෙන් සිද්ධ කරගත්තා නම් ඉතිරිය ධර්මතාවයෙන් සම්පූර්ණ වෙන්නට පටන්ගන්නවා. 

ඉතින් මේ දානය කියන දේ  මා දන්නා තරමින් දැනට ප්‍රකට මූලික ආගම් සියල්ලකම පාහේ තියෙනවා.  අන්න ඒ නිසා ආගම් ජාති කුලමල භේදයකින් තොරව මේ වෙබ් අඩවිය ඇසුරු කරන සැබෑම බුද්ධිමත් මිනිසුන් සැමටම තම තමන්ගේ ආගමට දහමට අනුවත් මේ දේ තම තමන්ගේ ජීවිත වලට ලංකරගෙන සැනසීම සතුට හිමි කරගන්නට කිසිම බාධාවක් නෑ. 

අන්න ඒ නිසා බුද්ධිමත්ව මේ සෑම දෙයක්ම තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට නිතරම ලංකරගෙන සිටින්නාවූ දානය තුලින් නිවීම කරා, සතුට කරා, සැනසීම කරා යන මාර්ගය පාදා ගන්නට උත්සාහ කිරීම ඔබට භාරයි.