කුණු සේදීම

  08 අගෝස්තු 2013

ඔන්න දැන් මගේ අතේ තියෙන කුණු ටික මම  සංසන්දනය කරන්නට උත්සාහ කලේ දානය පිණිස දීම පිණිස මම බලාපොරොත්තු වෙන දේයි. දීම පිණිස තෝරාගන්නා මුදල් හෝ වේවා, යම් ද්‍රව්‍යයක් වස්තුවක්, සත්වයෙක් හෝ වේවා සමහරවිට පුද්ගලයෙක් හෝ වේවා යන තැනටම මෙය වර්ධනය කරගන්නට අපට හැකියි.  මූලික වශයෙන් අපි පුද්ගලයන් පසෙකලා සත්වයින්, ද්‍රව්‍යය සහ වස්තු වලට අදාල වන දාන වස්තු සලකා බලමුකෝ.  දැන් ඇයි මේ දේවල් මට කුණු හා සමාන දේවල් වෙන්නේ? 

ටිකක් හිතන්න ගෙදර ඇතුලේ කුණු ගොඩක් එකතු වෙලා තියෙනවා කියලා.  පුදුම දුර්ගන්ධයක් තියෙන්නේ... ඒනිසාවෙන් නොයෙක් කෘමි සත්තු ආකර්ෂණය වෙලා තියෙනවා... මේ නිසා දැන් මනසට පුදුම අසහනයක් ඇතිවෙලා තියෙන්නේ.  මේ කුණු වලට ඇදෙන සත්තු නිසා ලෙඩවෙන්නත් පුළුවන්... නොයෙක් ආකාරයෙන් බියක් සැකයක් ආදී පුදුම දුක් රැසක් මානසිකව ඔන්න දැන් ඇතිවෙලයි තියෙන්නේ.  දැන් මෙහෙම කියනකොට මොකක්ද හිතෙන්නේ?

ගෙදර කුණු තියාගෙන ඉන්නේ පිස්සුනේ... විසි කරලා දැම්මා නම් ඉවරයිනේ කියලා... මොකටද නිකං වද විඳින්නේ කියලා හිතුණද?  පිරිසිදු කරන්නට හැකියාව තියාගෙන මොකටද අනේ නිකං දුක් විඳින්නේ පිස්සුද? කියලා හිතුණද... ඇත්ත නේන්නම්... ගේ ඇතුලේ කුණු ගොඩ ගසාගන්නේ නැත්තෙත් මේ නිසානේ අපි.  එහෙම නේද?

දැන් ඉතින් අවුලක් තියෙනවා... හැමදාම කියනවා වගේ මේ දේවල් වලට පිස්සු කිව්වට මොකද මේ විදියේම වැඩක් අපි ඉතින් නිතරම කරන්නට යෙදී සිටිනවා.  තෝරාගැනීමේ පහසුව පිණිස උදාහරණයක් වශයෙන් අපි මෙන්න මෙහෙම හිතමුකෝ.  

ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා.  මේකෙන් මම උපරිම ආශ්වාදයන් ලබනවා.  ඒ නිසා මේ රූපවාහිනී යන්ත්‍රය තමයි මට තියෙන වටිනාම වස්තුව.  එය රැකගන්නට මම උත්සාහ කල යුතුයි.  නැතිවුනොත් කැඩුනොත් ආයේ ඒවා ගන්න සල්ලි එහෙමත් අඩුපාඩුවක් තියෙන නිසා තවත් අසහනය වැඩියි කියලා හිතන්නකෝ.  ඔන්න දැන් රූපවාහිනිය පාවිච්චි කරලා ඒකෙන් ලැබෙන දේවල් වලින් මම අසහනයට පත්වෙන වාර ගණන මෙතෙකැයි කියලා කියන්නත් බැරි තරම්. 

ඒ විතරක් නම් මදැයි දැන් ඉතින් මේක කැඩෙන බිදෙන විනාශ වෙන, කැඩී බිදී විනාශ වී යන, කඩන්න බිදින්න විනාශ කරන්නට හැකියාවක් තියෙන ඒ ස්වභාවයෙන් යුක්ත ද්‍රව්‍යයක්ය කියලා මම දන්න නිසාම ඒ දේවල් සිද්ධ වෙන එකෙන් රැකගන්නට පරිස්සම් කරගන්නට තමයි දැන් ඉතින් මගේ උපරිම උත්සාහය.  මොකද එහෙම දෙයක් වුණොත් ඉතින් කොහොමැයි මම මේකෙන් ආශ්වාදයක් ලබන්නේ නේද?  දැන් ඉතින් ලැබෙන්නා වූ ආශ්වාද මාත්‍රය සිහි කර කර මේ රූපවාහිනී යන්ත්‍රය රැකගැනීමේ වැඩපිලිවෙලට බැහැගෙනයි ඉන්නේ.  තරහා වෙන්න එපා මෙහෙම කියනවට ඒත් ඉතින් හොදින් හිතලා බලන්න ගේ ඇතුලේ කුණු තියෙන කොට ඒවට ඇදෙන පණුවෝ කෘමි සත්තු ඉන්නවා නේද?  ඒ අය ඒ කුණු වලට කැමැත්තෙන් ඇදෙන්නෙත් ඒ අයට ඒ කුණු ටිකෙන් ආශ්වාද මාත්‍රයක් ලැබෙන නිසයි.  ඒ නිසා පොරකාගෙන වලිකාගෙන මේ කුණු ගොඩින් උපරිම ආශ්වාද ලැබීම පිණිස තමයි ඒ අයත් ඇදෙන්නේ.  ඒකට ඔබ හරස් වුණොත් ඔන්න ඔබටත් පහර දෙන්නට මේ කෘමීන් පණුවෝ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.  ඒකනේ ඔබත් බය නේද?