මුල් පටන්ගැන්මක්

  08 අගෝස්තු 2013

ඔන්න දැන් ඉතින් දානය මේ වැඩපිලිවෙලට සම්බන්ධ කරගන්නට වෙලාව හරි.  මතකනේ මුලින්මත් කිව්වා කුණු සෝදා හරිනවා වගේ දානය දෙන්න ඕන කියලා.  දැන් ඉතින් තමන් වැඩියෙන්ම කැමැත්තක් දක්වන දෙයක් එකවරටම කුණු වශයෙන් දැකලා හෝදා දමන්නට නොහැකි නම් ටිකක් විතර කැමැත්තක් තියෙන දේකින් පටන්ගන්නකෝ. 

උදාහරණයක් විදියට මේ මාසේ පඩියක් / වැටුපක් ගත්තාම ඔන්න මම රාජකාරියට යනවිට කඩේක දැක්ක ලස්සනයි කියලා හිතුන ඇඳුමක් තිබ්බා.  ගාණත් රුපියල් 400ක් විතර වෙනවා කියලා බලාකියාගෙන තමයි හිටියේ.  දැන් ඔන්න මේ ලිපියක් කියවලා හෝ යම් හෝ අවබෝදයක් ආවා නම් කුණු වලට කැමති පණුවෙක් නොවී යහපතක් සැනසීමක් කරගන්නට ඕන කියලා හිතුණා නම් ඔන්න අවස්ථාවක් තියෙනවා වැඩේ පටන්ගන්න.  දැන් වැටුපෙන් මේ ඇඳුම සඳහා වෙන්කරගෙන හිටිය රු 400 යොදාගන්නට පුළුවන් යම් කිසි දීමක් පිණිස. 

බෞද්ධ කෙනෙක් නම් ශාසනය පිණිස ගැලපෙන වස්ත්‍ර පූජාවක්ම කරන්නට හැකියි.  අන්‍ය ආගමකට අදාල කෙනෙක් නම් ඔබ ඒ ඇඳුමම අරගෙන ඒ වගේ ඇඳුමක් තබා විලිවසාගන්නවත් ඇඳුමක් නැති කෙනෙකුට ඒ ඇඳුම දෙන්නට ඔබට හැකියි.  මේ විදියට දීලා බලන්නකෝ කොතරම් සහනයක් හිතට දැනෙයිද කියලා.  නිවැරදිව කලොත් ඒ කියන්නේ මේ දේවල් ඔබට අසහනයක් ගෙන දෙනවා නම්, දුකක් ගෙන දෙනවා නම්, පීඩාවක් ගෙනදෙනවා නම් එය ඔබට හිමි කරගන්නා තුරු මානසික වශයෙන් දුක් රැසකට මුහුණ දුන්නා නම්... තමන්ගේ කරගත්තාට පසුවත් ඔබට එය රැකගැනීමේ වෙහෙසකර වැඩපිලිවෙලකට පත්වෙන්නට සිද්ධ වෙනවා නම් අනේ ඉතින් මේ කුණු ටික සෝදලා හැරියාම වැඩේ ඉවරයිනේ නේද?  හරියට සෝදා හැරියා නම් ඔන්න මේ නිසාවෙන් ඔබට ඇතිවෙන අසහනය දුක සියල්ලමත් නැතිවෙලා යනවා. 

දැන්  එකපාරක් හෝ මේ ආකාරයට නිවැරදිව දුන්නොත්, මේ සැනසීම අත්දැකගන්නට ඔබ හැකිවෙනවා.  ඉන්පසුව කැමැත්ත ඇතිවෙන්නේම දෙන්නම තමයි.  ඇයි? අතහැරීමේ සුවය ඔබට දැනෙන්නට ගන්න නිසාමයි.