සංවරත්වයට පත්වීම

  08 අගෝස්තු 2013

අන්න ඒ වගේ මනසක් තුල තමයි සංවරත්වය වැඩෙන්නේ.  කොහොමද? 

දැන් ඔබ පුහුණු කරන්නේ දුක අසහනය පීඩාවන් රැසක් ගෙන දුන්න මේ වස්තු කරගෙන සිටිය ද්‍රව්‍ය සමූහය ඒ යථා ස්වභාවය අවබෝධකරගෙන දීමටයි.  අතහැරදැමීමටයි.  අන්න ඒ ගුණය නිසා කුසලතාවය නිසා යම් මොහතක් මේ වගේ ද්‍රව්‍යයක් නිසාවෙන් සත්වයෙක් මරන්න වුනොත් දැන් ඔබට මරන්නට සිත් වෙන්නේ නෑ... ඒ මරණයට පත්කර හෝ වස්තුවක් රැකගන්නට ඕනෑය කියන මානසිකත්වය දැන් ඔබ ලඟ නෑ... ඔන්න දැන් ප්‍රාණඝාතයට ඇති කැමැත්ත ඔබ තුලින් නැතිව ගොස් කයේ සංවරත්වයක් හටගන්නවා.  ඒ වගේමයි අනුන්ගේ දේවල් අනවසරයෙන් ගන්නට යන්නේ නෑ... නොදුන්නා කියලා කම්පාවක් නෑ... ඒ වගේමයි තමන්ට තියෙන දෙයින් සතුටු වෙනවා මිසක් තව තවත් ආශ්වාදයන් සොයාගෙන නොයෙක් ආකාරයේ කාම සේවනයන් කරන්නේ නෑ... මෙන්න මේ විදියට කයෙත්, වචනයෙත්, සිතෙත් යම් වූ අසංවරයක් තිබුණා නම් ඔන්න දැන් ඒවා නැතිවෙන්නේ ඉබේමයි. 

දැන් ඔබ තුල පොරකන වලිකන මානසිකත්වයක් නැතිව ගොස් සැනසීමෙන් ඉන්න ස්වභාවයක් ලැබෙනවා.  ඔන්න ඔය වගේ මනසකට පුළුවන් ඕනෑම ආකාරයේ භාවනාවක් සිද්ධ කරගන්නට.  ඇස්දෙක පියාගෙන එකතැනක වාඩිවෙලා කරන්නා වූ භාවනාවක් කරනවා නම් එයත් කරගන්නට හැකියි එහෙම නැතිව හැමමොහොතක් පාසාම ජීවිතයම භාවනාවක් කරගෙන ජීවත් වෙන්නටත් හැකියි. 

දැන් ඉතින් මේ ටික කරගන්නට ආගම්, ජාති, කුලමල භේදයක් අවශ්‍යද?  ඔබ පෞද්ගලිකව ලබන්නා වූ සුවයක් සැනසීමක් මිස එයින් ඔබ්බට ගිය අමුතු දෙයක් නෙවේ මේ කියන්නේ.  මේ පෞද්ගලිකව ලබන්නාවූ ගුණය සැනසීම නිසාම ඔබට විතරක්ම නෙවේ ඔබ නිසාවෙන් අන් අයටත් සමාජයටත් මහා යහපතක් සිද්ධ වීම ඉබේම සිද්ධ වෙන දෙයක් වෙනවා.  දැන් ඉතින් නිතර දන් දීම කරනවා නම් කරන්නට තියෙන්නේ මානසික තත්වය නිසි ලෙසින් හදාගැනීම පමණයිනේ. 

අල්ලාගෙන දීම සහ අතහැර දීම දැන් වැටහෙනවා නේද?