පුද්ගලික සතුට

  08 අගෝස්තු 2013

"දානයෙන් / දීමෙන්" පුරුදු පුහුණු කරන තවත් දෙයක් තියෙනවා.  ඒ වෙනුවෙන් බාහිර පුද්ගලයෙක් මත හෝ බාහිර තත්වයක් මත යැපෙන්නේ නැතිවීම ප්‍රගුණ කිරීම තමයි ඒ.  ඔය කිව්වා වගේ "දීමෙන් පසු ඒවාට සිද්ධ වෙන දේවල් ලබන අය ගැන" ආදී පසු දේවල් ගැන සොය සොයා තමන්ගැනම සොයාගන්නට තියෙන කාලයත් වැයකරගෙන අනිසි ලෙසින් අසහනයට දුකට පත්වීමක් සිද්ධ කරගන්නවා කියන්නේ තමන්ගේ සතුට සැනසීම ලැබීම පිණිස තවත් බාහිර වූ තත්වයක් පුද්ගලයෙක් මත යැපෙනවා කියන එකයි.  බාහිර තත්වයන් හරියට තිබුනොත් පමණයි එවිට ඔබට සතුට සැනසීම ලැබෙන්නේ.  අන්න එය බොහෝම තාවකාලිකයි.  දැනට අපට තියෙන්නෙත් ඒ වගේ දුක සහනය සහිත තාවකාලික සැනසීමක් සතුටක් තමයි.  එහෙම වෙන්නේ අපි අපේ සතුට බාහිර දේවල් මතින් යැපෙන්නට සලස්වා තිබෙන නිසයි. 

මම හැමතිස්සේම කියනවා වගේ බාගෙට බාගයක්ම මිනිසුන්ට අසහනය දුක ඇතිවෙලා තියෙන්නේ අනවශ්‍ය වූ දේවල් රැසක් කෙරෙහි අනවශ්‍ය ලෙසින් සිතන නිසාමයි.  ඉතින් මෙන්න මේ බාහිර දේවල් මත නොයැපෙමින් තමන්ගේ සිතට සහනයක් සතුටක් ලැබෙන්නටත් ඉහත ආකාරයට දෙන්නාවූ දානය / දීම තුලින් හැකියාවක් ලැබෙනවා. 

දානයක් / දීමක් තුලින් ලැබිය යුතු නිසි පුහුණුව ඒ ඵලය තමන්ට බොහෝම පෞද්ගලික දෙයක්.  දානය විතරක් නෙවේ අන් හැමදෙයක්ම එහෙමයි.  ඒ නිසාම තමයි මෙච්චර දුක් කන්දරවකින් මිදිලා නිවී සැනසෙන්නට හැකියාවක් ලැබෙන්නෙත්.  එය තමන් විසින්ම කරගත යුත්තක්.  ඉතින් දීම / දානය තුලින් මේ වගේ පුහුණුවක් ලැබිය යුතුයි අන්න එදාට තිරිසන් සත්වයෙකුට හෝ වේවා සිගන්නෙකුට හෝ වේවා සංඝරත්නය ඇතුලු උත්තරීතර උතුමන්ට හෝ වේවා කවරෙකුට හෝ වේවා යම් දෙයක් දෙනවිට ඔය ඉහත උපමා උදාහරණ සිහියට ගෙන තම තම නැණ පමණින් විමසා ගලපාගෙන ඒ දානය නිසි ආකාරයෙන් දීම තුලින් අතහැරීමත් ඒ හා සමඟින් එන්නා වූ තවත් බොහෝ ගුණයන් ප්‍රගුණ කරගන්නට හැකිවේවි. 

කථාවට කියනවා නේද "අනේ ඒ පුද්ගලයා නම් පුදුමයි... ඇඳගෙන ඉන්න ඇඳුම වුණත් ගලවලා දෙන ජාතියේ කෙනෙක්... පුදුම විදියට අනුන්ට දෙන්නේ..." කියලා.  මෙන්න මේ වගේ හැමෝම අගය කරන ආකාරයේ පුද්ගලයෙක් වුණත් වෙන්නට ඔබට හැකියාවක් ලැබෙනවා.  ඔබ ලඟ හොඳ අලුත් ඇඳුමකුයි ටිකක් පරණ වෙච්ච ඇඳුමකුයි තියෙනවා කියලා හිතන්න.  එය දෙන්නට අවස්ථාවක් ආවොත් ඔබ ඒ අලුත් ඇඳුම දෙන තත්වයේ මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙන්නට හැකියාවක් තියෙනවා.