උපමා සසදා සිතන්න

  08 අගෝස්තු 2013

ඔබ ඔබව දරකොටුවක් හා සමානකොට සිතන්නට, පාපිස්සක් හා සමානකොට සිතන්නට, දූවිලි ටිකක් හා සමාන කොට සිතන්නට තමන්ට දෙන වටිනාකම ක්‍රමයෙන් නොයෙක් ආකාරයෙන් සිතා අඩුකරගන්නට ඔබට හැකිවේවි.  ගහක් ගැන හිතන්න ගෙඩි දෙනවා, මල් දෙනවා, කොල, අතු පොතු හැමදෙයක්ම දෙනවා... අන්තිමට තමන්ව කපාගෙන ගියත් මුකුත්ම කියන්නේ නෑ නේද?  අන්න ඒ තත්වයට පත්වෙන්නට උත්සාහ කරන්න.  ඒවා අජීවී දේවල්නේ කියලා හිතන්න එපා.  මහා ප්‍රඥායාණන්වහන්සේ විසින් නිතරම උපමාවට දුන්නෙත් ඒ වගේ දේවල් තමයි.  තමන් මනසින් තමන්ගේ වටිනාකම අඩු කරගෙන "මමත්වය" නැතිවෙන දිනයට අන්න ඒ වගේ වෙන්න පුළුවන් කියලා අත්දැකීමෙන්ම දන්න නිසා තමයි උන්වහන්සේ ඒ දේවල් නිතරම පෙන්වා දුන්නේ.

ඉතින් ගෙදර ද්‍රව්‍ය වස්තු කරගත්තාම ඇතිවූ දුක අසහනයට බිය ගැටලු මතකයිනේද?  ඉතින් ඔබත් මමත් මේ ඒ වගේම කුණු ගොඩක් තමයි "මම" කියලා හිතාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ.  දැන් ඉතින් වටිනාකම තේරුම් අරගෙන දන් දෙන්නට පුළුවන් වුණාම අර ගෙදර වස්තු තියෙනතාක් ඇතිවෙච්ච සොරබිය, මරබිය, විපත් බිය ආදී නොයෙක් ආකාර බිය සහ දුක අසහනයන් කම්පාවන් ක්‍රමයෙන් නැතිවෙනවා.

ඉතින් මේ කියන්නේ දිව්‍ය ලෝකයේ ගිහින් ලබන්නට හැකි සැනසීමක්වත් මැරුණට පස්සේ ලැබිය හැකි සැනසීමක්වත් ගැන නෙවේ.  මේ කියන්නේ ඔබ බුද්ධිමත්ව මේ දේවල් අප්‍රමාදීව කරගන්නා තරමින් ඒ මොහොතේම මේ ජීවිත කාලය තුලම අත්දැකගන්නට හැකි සැනසීමක් සතුටක් සහනයක් ගැනමයි.  එය අත්දැකගැනීම ඔබේ වගකීමක්! ඔබටම කරගන්නා යුතුකුමක්!

ඉතින් අවසාන වශයෙන් කියනවා නම් නිවෙන දහමිනුත් දැවෙන පිරිසක් ඉන්නවා.  ඒ දහමේ ඇති අඩුවක් නිසා නොවේ තම තමන් තම තම නැණ පමණින් ඒ දහම තෝරාගන්නා ආකාරයේ වරදක් අඩුපාඩුවක් තියෙන නිසාවෙන්මයි.  ඒ නිසාමයි බුදු පියාණන්වහන්සේගෙන් බණ පදයක් අහලාවත් නිවෙනවා වෙනුවට දැවීමක් ඇතිකරගත්ත පුද්ගලයින් සිටියේ. 

අන්න ඒ නිසා මම කලිනුත් කිව්වා වගේ සැනසීම ලැබෙන ප්‍රමාණයේ අත්දැකීමේ අඩුපාඩු තිබෙන විට එය තමන් කරන ආකාරයේ වරදක් අඩුපාඩුවක්ම විය හැකියි කියලා තෝරාගෙන එය නිවැරදි කරගන්නට බුද්ධිමත් වෙන්න.  මේ සෑම දෙයක්ම තේරුම් අරගෙන ලබාගෙන ඇති වටිනා දුර්ලභ මිනිස් ජීවිතය නිසි අයුරින් යොදවාගෙන දැවීමෙන් මිදී නිවීම වෙතම ලංකරගන්නට ඔබ සැමටත් සියලු ලෝක සියලු සත්වයින්ටත් මටත් හැකිවෙත්වායි මෙත් සිතින් නිති පතමි!!! තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!! 

දැන් ඉතින් දානය ගැනත් හොද වැටහීමක් තියෙන නිසා "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියෙන් ඔබට දන් දීමට අවස්ථාවක් දීලා තියෙනවානේ.  හැකියාව තියෙන පරිදි ඔබ අතර බෙදා හදාගෙන මේ පින්කම් වලටත් එකතු වෙන්නට උත්සාහ කරන්නකෝ... තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!