ප්‍රණීත අයුරින් දීම

  08 අගෝස්තු 2013

මේ විදියට උපක්‍රමයක් වශයෙන් "දීම පිණිස / දානය පිණිස" මේ ලෝකයේ ඔබ යම්කිසි කැමැත්තක් තියෙන්නාවූ ඔබට ආශ්වාදයක් ලැබෙන්නා වූ ප්‍රිය ලෙසින් මධුර ලෙසින් දකින්නා වූ වස්තුවක් කරගෙන සිටින්නා වූ යම් ද්‍රව්‍යයක් වේ නම් ඒවා ගැලපෙන අයුරින් දීම තුලින් අතහැරීම ප්‍රගුණ කරගන්නට ඔබට හැකියාවක් තියෙනවා.  මේ කටයුත්ත නිසාවෙන් "ප්‍රණීත අයුරින් දානය දෙනවා" කියන දේත් ඉබේම සිද්ධ වෙනවා.  ඇයි දන්නවද මින්පසුව ඔබ දානය පිණිස තෝරාගන්නේ උපරිමයෙන් ඔබට හොදයි කියලා හිතෙන වටිනවා කියලා හිතෙන දේ නිසාමයි. 

තමන්ට කන්නට හදනකොට හොදම දේ දාලා ප්‍රණීත අයුරින් හදනවා වගේ දානය පිණිස කෑමක් හැදුවත් කිසිම ලෝභකමක් නැතිව උපරිමයෙන්ම හදනවා.  තමන්ට ඇදුමක් ගන්නකොට හොදම දේ ගන්නවා වගේ දානය පිණිස දෙන්නා වූ වස්ත්‍ර ආදියත් හොදම දේ ගන්නට පෙළඹෙනවා.  එතකොට අනෙකුත් දානය පිණිස දෙන දෑත් එහෙමයි.  නිකම්ම නිකම් ද්‍රව්‍ය වශයෙන් නැතිව ඔබ  වස්තුවක් ලෙසින් සලකන දෙයක් තමයි දාන වස්තුවක් වශයෙන් දෙන්නට ඔබ පුරුදු වෙන්නේ.  එතකොට ඔබ ඒවා පූජා කරන්නේ වස්තුවක් විදියට හිතලා නෙවේ නිකම්ම නිකම් ද්‍රව්‍යයක් විදියට හිතලයි.  තේරුණා නේද?  අන්න එතකොට තමයි ඒවා තියෙන කැමැත්ත ආශාව අතහැරෙන ආකාරයට මනස සකස් වෙන්නේ.

ඉතින් සසර දුක් මානසික අසහනයන් යම්තාක් වේ නම් ඒ හැමදේකටම හේතු වෙලා තියෙන්නේ මම මේ අල්ලාගෙන ඉන්න සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු නිසාවෙන්නේ.  එහෙනම් නිවීමක් ගෙන දෙන්නේ නැති, සැනසීමක් ලබාදෙන්නේ නැති ඒ දේවල් නිවීමක් කැමති නිවීමක් පතන්නාවූ සැනසීමක් සැබෑ සතුටක් සොයන්නාවූ මට කුණු ගොඩක් හා සමාන හරයක් නැති දෙයක්ම විය යුතුයි නේද? කියලා දැන් ඉතින් ඔන්න සිහි කරලා බලන්න ඕන.  එය මුදල් හෝ වේවා භාණ්ඩයක් හෝ වේවා යම් සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් යන කොටස් 4ට අදාල වන කුමන හෝ ආකාරයේ දෙයක් හෝ වේවා එය කුණු ගොඩක් හා සමාන අසාර වූත් ඇසුරු කරන්නට නුසුදුසු වූත් අතහැරිය යුතු වූත් දෙයක්ම තමයි කියලා තම තම නැණ පමණින් තෝරාගත යුතු වෙනවා.