තමන්ව දන් දීම

  08 අගෝස්තු 2013

ඉතින් මුලින්ම කිව්වා වගේ පුද්ගලයින්වත් දන් දෙන්නට පුළුවන්.  මේ විදියට ප්‍රගුණ කරලා තමන් ප්‍රියකරන්නාවූ අල්ලාගෙන බැදීමෙන් යුතුව කටයුතු කරන්නාවූ යමෙක් වේ නම් ඒ පුද්ගලයාගේ මරණය හෝ මොනයම් ආකාරයකින් හෝ වේවා ඒ පුද්ගලයාව තමන්ට අහිමිවීමට ඔරොත්තු දෙන අසහනයට පත්නොවෙන ඒ වගේ මොහොතකත් සැනසීමෙන් සිටිය හැකි මානසිකත්වයක් හදාගත යුතු වෙනවා.  වස්තු කරගත්ත ද්‍රව්‍ය වගේම තමයි මේ පුද්ගලයිනුත් අපි කුණු කියලා නොදැකයි ලංකරගෙන අල්ලාගෙන බදාගෙන ඉන්නේ.  ඉතින් උපමා උපමේයයන්ට ගලපාගෙන උදාහරණ තුලින් තෝරාගෙන අතහැරීම පිණිසම කටයුතු කල යුතු වෙනවා.

දැන් මේ දීම අතහැරීම තමන් වෙතටම ලංකරගෙන කරුණු තෝරාගැනීම අවසාන ප්‍රඥාවන්තම මට්ටමට පත්කරගත යුතු වෙනවා.  තමන්වත් දන්දීම සිදුකිරීම තමයි මේ කියන්නේ.

"ඈ මොකක්ද ඒ ගමන කියන්නේ? මුලින් ගෙදර බඩු ටික දෙන්න කිව්වා... ඊට පස්සේ ලංවෙලා ඉන්න අනේ මගේ ගෙදර කට්ටියවත් දන් දෙන්න කිව්වා... දැන් මේංකියනවා මාවත් දන් දෙන්නලු... මේ මොකාටද මේ එන්න හදන්නේ" කියලා හිතෙනවද?  නෑ නේද?  මෙච්චර වෙලා බුද්ධිමත්ව කරුණු තෝරාගෙන මේ දේවල් තමන්ගේ ජීවිතයට ලංකරගන්නට උත්සාහ කරන බුද්ධිමත් ඔබට මේ දේවල් ඉතාමත් වැදගත් වන බව දන්නා නිසාමයි මේ ක්‍රමානුකූලව පහදා දෙන්නට උත්සාහ කරන්නේ.

මොකක්ද මේ තමන්ව දන් දෙනවා කියන්නේ.  ඔන්න කෙනෙක් බනිනවා.  බැනගෙන බැනගෙන යනවා.   තරහාත් ඔන්න දැන් එන්නයි යන්නේ.  ඉවසීමේ සීමාව ඉක්මවන්න එනවා කියලා දැනෙනකොටම අන්න ඒ සීමාවේදී හිතන්න පුරුදු වෙන්න "අනේ ඉතින් මේ සමකින් වැහිලා තියෙන කුණු ගොඩකටනේ මේ පුද්ගලයා මේ වටිනාකමක් දීලා බැනගෙන යන්නේ.  ඒ පුද්ගලයා එක්ක තරහා එනවා කියන්නේ මටත් ඒ ටික අමතකවෙලානේ.  කුණු වලට කැමති මේ පුද්ගලයාටම මේ කුණු කය දානයක්ම වේවා කියලා... ඔන්න ඔහේ ඕන දෙයක් කියපුවාවේ..." ආදී වශයෙන් ඔබ ඔබවම දන් දෙන්න. 

නිවැසියන්ට ඔබ ඔබවම දන් දුන්නාම ඒ අය කියන ඕන යහපත් දෙයක් ඔබට ප්‍රඥාවන්තව ඒ අයත් සමග ගැටීමකින් තොරව කරන්නට හැකිවේවි.  අයහපත් දෙයක් කරන්නට කියන්නට සිද්ධ වෙනවා නම් ප්‍රඥාවන්තව ඒවායෙන් මිදෙන්නටත් හැකිවේවි.  ගෙදර ප්‍රශ්ණ, රැකියා ස්ථානයේ ප්‍රශ්ණ, ගමේ ප්‍රශ්ණ, නගරයේ ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝකයේ ප්‍රශ්ණ ඔන්න ක්‍රමයෙන් දැන් ඔබට ප්‍රශ්ණ නොවේවි.