දන් දෙන ක්‍රම

  08 අගෝස්තු 2013

ඒ වගේම තමයි දානය පිණිස සමහරවිට අපට මිල මුදල් හෝ අවශ්‍ය කරන සම්පත් නැතිවෙන්නට පුළුවන්.  උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ.  මට අවශ්‍යතාවයක් තියෙනවා බුදු හිමියන්ට මැණික් වලින් දියමන්තිවලින් කුටියක් පූජාකරන්නට.  ඒත් දැන් බුදු හිමියනුත් නෑ... මැණික් දියමන්ති තබා ගඩොල් මැටි වලින්වත් කුටි පූජාවක් කරන්නට මුදල් මගේ ලග නෑ.  ඒත් දැන් මේ පින්කම කරගන්නට මට අවස්ථා කීපයක් තියෙනවා.

  1. සුළු හෝ මුදලක් ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කරන්නට හැකියාවක් තියෙනවා නම් ඒසේ කුටි පූජා ආදී ගැලපෙන පින්කම් කරන්නා වූ ස්ථානයකට තමන්ගේ සිතේ තමන්ට අවශ්‍ය කරන්නාවූ පින්කම එසේ කරනවා යැයි සිතාගෙන සම්බන්ධ වී සතුටු සිත් ඇතිකරගන්නට හැකියි.
     
  2. එහෙමත් නැතිනම් කුටි පූජාවන් ආදිය කරනවිට හෝ වේවා ගැලපෙන පූජාවන් කරන විට ශ්‍රමය දන්දීම තුලින් පුළුවන් මේ පින්කම තමන් විසින්ම සිද්ධ කලා කියලා සතුටු සිත් ඇතිකරගන්නට.
     
  3. එහෙමත් නැතිනම් තමන්ට පුළුවන් කුටි පූජාවන් කරන අය දුටුවිට ඒ පින්කම් ගැන දැනගත්විට ඔන්න මම තමයි සියලු දෙනාවම සම්බන්ධ කරගෙන ඒ පූජාව කලේ කියලා තමන් කලාහා සමානවම සතුටු සිත් ඇතිකරගන්නට.
     
  4. එහෙමත් නැතිනම් තමන්ට පුළුවන් මනෝමය පූජාවක් කරන්නට.  ඉඩ පහසුව වෙලාව ලැබෙන විදියට ඕන නම් පැත්තකට වෙලා භාවනා කරන ඉරියව්වක ඉන්නවා නම් එසේ හෝ වේවා අපි රෑට සිහින දකිනකොට වගේ මනසේ ඔබ කැමති ආකාරයට මුතු මැණික් දියමන්ති වලින් කුටියක් හදලා බුදු හිමියන්ගේ ඔබ කැමැති ආකාරයේ රූපයක් මවාගෙන තවත් පිරිසක් සම්බන්ධකරගෙන මේ කුටිය උන්වහන්සේට පූජා කරනවා පූජා කරමි! පූජා කරමි! පූජා කරමි! පූජාම වේවා!!! පූජාම වේවා!!! පූජාම වේවා!!! කියලා සතුටු සිතින් යුතුව මේ දානය කිරීමට හැකියි.

දැන් ඉතින් ශ්‍රමය දෙන්න කම්මැලි නිසා හෝ වේවා මිල මුදල් වියදම් කරන්නට අකමැති නිසා හෝ වේවා කෙනෙක් මනෝමය පූජාව තමයි වාසිම කියලා හිතලා ඒකම කරන්න ගත්තොත් මොකද වෙන්නේ?  ප්‍රතිඵල ලැබෙයිද එවන් කපටි වූ වංචනික වූ මනසකට? අන්න ඒ නිසා තමන්ට හැකියාව තබාගෙන තමන්ගේ වාසිය තකා අල්ලාගෙන දන්දීමෙන් මිදෙන්නට අධිඨන් කරගන්නට බුද්ධිමත් විය යුතුයි.  

සාමාන්‍ය ආකාරයට දානයක් දුන්නත් ඒ දානය අරමුණු කරගෙන තමන් විසින් සර්ව සම්පූර්ණ මහා පරිමාණයෙන් දානයක් දෙනවා කියලා සිත සකස් කරගැනීම තමයි වැදගත්.  තමන් අල්ලා සිටින්නා වූ දෑ මනසින් සිහි කරගෙන ඒ සෑම දෙයක්ම ඒ මොහොතේම දන් දෙනවා කියලා සිතමින් අතහැරීම ප්‍රගුණ කල යුතු වෙනවා.  අන්න එවිට මේ දන්දීම තුලින් තව තවත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා.