ඇයි මේ කථා එපා?

  01 පෙබරවාරි 2013

ඉතින් ඇයි මේ එතකොට දේශපාලනය සම්බන්ධව, නැතිවේවි කියන භිය නිසා රැකගැනීම මුල්කරගෙන සේනා හදාගෙන යුද්ධ කිරීම සම්බන්ධව,  ආහාර පාන වස්ත්‍ර ආදී මූලික අවශ්‍යතාවයන් සම්බන්ධව, ඥාතීන් යාන වාහන ස්ත්‍රීන් ගම් නියම්ගම් සූරකම් අග මුල නොපෙනෙන විෂයන් සම්බන්ධව කරන කථා බුදු හිමියන් විසින් බොහෝම පහත් කොට දක්වා තියෙන්නේ?  කාටද මේවා පහත් කොට දක්වා තියෙන්නේ?  තවමත් අරිහත්වයට නොපත් අනන්ත දුක් කරදර වලට හිමිකම් කියමින් මේ සසරේ අනාථයන් වෙලා තියෙන පිරිස අතරින් කව්රුන් හෝ වේවා නිවීමක් ඒ දුකෙන් මිදීමක් කැමති නම් මේ කථාවන් එපාය කියලා අනවශ්‍ය කථාය කියලා පෙන්වා දී තිබෙනවා.   

නොයෙක් වෙලාවට පිරිසක් එකතුවුණාම, අද කාලයේ නම් මේ අන්තර්ජාලය වැනි පිරිස් එකතු වෙලා කථා බහ කරන්නට යෙදෙන අවස්ථාවල බහුලව මේ සියලු කථාවන් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.  හිතලා බලන්න රට රටවල නායකයින් ගැන කථා කරන්නේ නැතිද?  ඉස්සර මේ වගේ රජවරු හිටියා ඒ අය මේවා කලාය දැන් කාලේ මෙහෙමයි කියලා නොයෙක් නොයෙක් ආකාරයෙන් කථාවන් කරන්නේ නැතිද?  ඒ ඒ රජවරු වර්ණනා කරමින් ඒ ඒ නායකවරුන් හෙලා දකිමින් කථා කරන්නේ නැතිද?  එතකොට මැති ඇමතිවරුන් ගැන කරන කථාවන් ගැන නම් ඉතින් කවර කථාද නේද?  දැන් ඉතින් මේ මාතෘකාවට සම්බන්ධයෙන් තම තමන් කරන කථාවන් තම තමන් සිතන ආකාරය හොදින් විමසා බැලීම තම තමන්ගේ කාර්යයක්.  එය මා විසින් එක් එක් වශයෙන් පෙන්වා දිය යුතු නෑනේ නේද?

ඒ විතරක්ම නෙවේ මේ කථාවන් කරන භික්ෂූන්වහන්සේ කෙනෙක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා ගිහි පරිසරයක ඉන්න උපාසක උපාසිකා හෝ වේවා අන් අයෙකු හෝ වේවා වර්ණනා කරනවාද නැත්ද කියලා හොදින් විමසා බලන්නකෝ.  කථා කරනවාය කියලා මේ කියන්නේ අප විසින් කරන්නට යෙදෙන මේ පිරිස ගැන වර්ණනා කරන්නට යෙදීම, ඒවා අගය කිරීම, ඒවා තමයි විය යුත්තේ කියලා අනුමත කිරීම කොතරම් නම් බහුලවශයෙන් අප විසින් සිදු කරනවාද කියලායි.